Spread the love

කොටකෙතන ප්‍රදේශයේදී මවක් සහ දියණියක් ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවූ චූදිතයෙකුට රත්නපුර මහාධිකරණය අද (19) මරණ දඬුවම නියම කළේය.

මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය එලෙස මරණ දඬුවම නියම කළේ වසර 12ක දීර්ඝ නඩු විභාගයකින් පසුවය.

රත්නපුර, කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ පසුගිය කාලයේ සිදුවූ ඝාතන පෙළ රටක් භීතියට පත්කරන්නට සමත්වුණි.

එය හැඳින්වුණේ කොටකෙතන ඝාතන රැල්ල නමිනි.

එම ඝාතන රැල්ලේ මව සහ දියණිය මරාදැමූ සිදුවීම් කිහිපයක් ද වාර්තාවූ අතර අදත් පුද්ගලයෙකුට මරණ දඬුවම හිමිවූයේ එවැනි සිද්ධියකටය.

2012 වසරේදී ජූලි 19 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී මෙලෙස ඝාතනයට ලක්වී තිබුණේ ලියනාරච්චිගේ ප්‍රේමවතී නම් හැටතුන් හැවිරිදි මවක් සහ හේවාගේ පුෂ්පාකුමාරි නමැති තිස්දෙහැවිරිදි අවිවාහක දියණියකි.

දියණිය දුෂණය කර තිබූ බවටත් එහිදී හෙළිවුණි.

එම ඝාතනයට අදාළව සැකකරුවන් සිව්දෙනෙකු කහවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණු අතර නීතිපතිවරයා විසින් එම සිව්දෙනාට එරෙහිව කොළඹ මහාධිකරණයේදී නඩු පවරනු ලැබීය.

ඉන් එක් අයෙක් රජයේ සාක්ෂිකරුවෙකු කෙරුණු අතර සෙසු තිදෙනා නිදොස්කොට නිදහස් කෙරුණි.