Spread the love

යතුරුපැදි මිලදීගන්නා මුවාවෙන් ගොස් එම යතුරුපැදි සොරකම් කළ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල මකුළුදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අන්තර්ජාලයේ පළකර තිබූ දැන්වීම් ඔස්සේ ගොස් සැකකරු විසින් මෙලෙස ලක්ෂ 50කට අධික යතුරුපැදි 8ක් සොරකම් කර ඇති බවට අනාවරණය වී ඇත.

එහිදී සැකකරු සන්තකයේ තිබී මෙම වංචාව සඳහා යොදාගත් ජංගම දුරකථන දෙකක් සහ සිම් කාඩ්පත් 4ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු විසින් සොරකම් කරන ලද යතුරු පැදි කිහිපයක් පිළියන්දල සහ බොරලැස්ගමුව ආශ්‍රිත ප්‍රදේශවල යතුරුපැදි අලෙවිසැල් වෙත ඉතා සුළු මුදලකට අලෙවිකර තිබියදී සොයාගෙන ඇත.

එසේම එක් යතුරුපැදියක් කොටස් කර සැකකරුගේ නිවසේ සඟවා තිබියදී සොයාගත් බවද පොලීසිය පවසයි.

හෝමාගම, කොට්ටාව, කැස්බෑව, පිළියන්දල සහ කහතුඩුව පොලිස් වසම් ආශ්‍රිතව සැකකරු මෙලෙස යතුරුපැදි සොරකමේ නිරතව ඇති බවද අනාවරණය වී ඇත.

සියලු මිලදීගැනීම් සඳහා සැකකරු විසින් ව්‍යාජ හැඳුනුම්පතක් යොදාගෙන ඇති අතර සැකකරුගේ නමට කිසිදු සිම්පතක් හෝ මිලදීගෙන නොමැති අතර මේ හේතුවෙන් දීර්ඝ විමර්ශනයක් සිදුකර සැකකරු අත්අඩංගුවට ගත් බවද පොලීසිය පවසයි.

සොරකම් කරන ලද යතුරු පැදි තම යතුරු පැදිය බවත් ඊට අදාළ ලිපි ලේඛන අස්ථානගතව ඇති බවත් තමන් මේ පිළිබඳව පොලීසිය වෙත පැමිණි කර ඇති බවත් සඳහන් පොලිස් පැමිණිලි වාර්තාවක් ද ඉදිරිපත් කර සැකකරු වංචා සහගතව අදාළ යතුරුපැදි අලෙවිකර ඇත.

වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු තදින් අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු බවය.

අත්අඩංගුවට ගත් සැකකරු නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර බස්නාහිර පළාත් දකුණු දිසාවේ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.