Spread the love

පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ගංගා කිහිපයක් ගංවතුර මට්ටමට ළඟාවෙමින් ඇතිබව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ වාරිමාර්ග ඉංජිනේරු එස්.පී.සී.සුගීශ්වර මහතා පැවසීය.

ඒ අනුව කළු ගඟ ,නිල්වලා ගඟ ,අත්තනගලු ඔය සහ ගිංගඟ ආශ්‍රිත පහළ ජලාධාර ප්‍රදේශ වල ගංවතුර අවධානමක් පවතින බව පැවසීය.කළු ගඟ පිටාර ගැලීම හේතුවෙන් පැල්මඩුල්ල ,නිවිතිගල ,රත්නපුර ,කුරුවිිට ,අයගම ඇලපාත,පාලින්ද නුවර සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල සැලකිය යුතු මට්ටමේ ගංවතුර අවදානමක් පවතියි.

මේ අතර නිල්වලා ගඟ පිටාර ගැලීම හේතුවෙන් පස්ගොඩ ,කොටපොළ ,පිටබැද්දර ,අකුරැස්ස ,අතුරලිය,තිහගොඩ,මාතර සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල සැලකිය යුතු මට්ටමේ ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මේ අතර මේවන විට අත්තනගලු ඔය පිටාර ගලමින් තිබේ.ඒ හේතුවෙන් ගම්පහ ,අත්තනගල්ල ,මීරිගම ,ජා ඇල සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල සැලකිය යුතු ගංවතුර අවධානමක් පවතීයි.මේවන විට ගිංගඟ ප්‍රදේශ කිහිපයකින් පිටාර ගලමින් තිබේ.ඒ හේතුවෙන් මේවන විට නෙළුව ,තවලම ,නාගොඩ ,වැලිවිටිය දිවිතුර සහ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට සෘජුවම බලපෑම් එල්ලවෙමින් තිබේ.ඒ අනුව මේවන මාර්ග රැසක් ජලයෙන් යටවී තිබේ.

නෙළුව – දෙල්ලව ප්‍රධාන මාර්ගය මේවන විට ජලයෙන් යටවී තිබේ.ඒ හේතුවෙන් මේවන විට නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් බෝට්ටු සේවයක් ආරම්භ කර තිබේ.මේ අතර පවතින වැසි තත්වය තවදුරටත් අඛණ්ඩව පැවතුණහොත් එම ගංගා ආශ්‍රිතව මහා ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.