Spread the love


රත්මලාන ගුවන් තොටුපළෙන් කාලසටහන්ගත ගුවන් ගමන් ආරම්භ කරනු ලබන ගුවන් සමාගම් සදහා සහන ලබාදීමට රජය සුදානම් වේ. ඒ අනුව එම ගුවන් සමාගම් වලින් අය කරන ගුවන් තොටුපළ අපගමන බද්ද 50%කින් අඩුකිරිමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
මේ මස 27 වන දින සිට වසරක කාලයක් සදහා එය ක්‍රියාත්මකයි. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩල අනුමැතිය සදහා ඉදිරිපත් කළ බව ද සංචාරක ඇමතිවරයා කියා සිටි.
වසර 55කට පසුව රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ සිය ජාත්‍යන්තර ගුවන් ගමන් මේ මස 27 වෙනිදා සිට යළි ආරම්භ කිරිමට සැලසුම් කර තිබේ. මාලදිවයින් ගුවන් සමාගමක් හා ශ්‍රි ලාංකික පෞද්ගලික ගුවන් සමාගමක් වන FITS AIR සමාගම මේ සදහා දැනටමත් එකගතාවය පළ කර ඇතැයි ඇමතිවරයා කියයි. මීට පෙර රත්මලාන ගුවන් තොටුපළේ අපගමන බද්ද 2020 ඔක්තෝම්බර් 01 වන දින සිට ද වසරක කාලයක් සදහා 50%කින් අඩු කෙරිණ. නව යෝජනාවට අනුව මේ මස 27 වන දින සිට රත්මලාන ගුවන් තොටුපළින් කාලසටහන්ගත ගුවන් ගමන් ආරම්භ කරන ගුවන් සමාගම් වලින් අය කරන්නේ ඇමෙරිකානු ඩොලර් 60 ක් වු අපගමන බද්දෙන් ඇමෙරිකානු ඩොලර් 30 ක මුදලක් පමණි.