Spread the love

පසුගිය මැයි 09 වැනිදා සිදුවූ නිවාස ගිනි තැබීම ඇතුළු කළහකාරී සිදුවීම් පිටුපස ඇතැම් ආගමික නායකයන් සිටි බවටත් ඔවුන්ගේ අනුබලය හිමිවූ බවටත් තමන් කළ ප්‍රකාශය කිසිසේත් ඉල්ලා අස්කර නොගන්නා බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (11)අවධාරණය කළේය.
හෘද සාක්ෂියට එකඟව කතාකරන තමන් කිසි විටෙකත් ජාතිවාදය හෝ ආගම්වාදය ඇඳගෙන දේශපාලනය නොකරන බවද ඔහු සඳහන් කළේය.

ඉකුත් 9 වැනිදා කළහකාරීන් විසින් ගිණිතබා විනාශ කරන ලද ගම්පහ, උඩුගම්පොළ පිහිටි සිය නිවසට ඊයේ (11) පැමිණි අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙම අවස්ථාවට අමාත්‍යවරයාගේ බිරිඳ සහ දරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූ අතර ගිණිබත්වූ නිවස පරික්ෂා කිරීමේදී අමාත්‍යවරයා සංවේදීව කඳුළු සැළීය.
අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය.
මගේ ගෙදර රජයේ වාහන දෙකක් තිබුණා. පාර්ලිමේන්තුවේන් මට ලැබුණු බඩු භාහිරාදිය වගේම කැබිනට් පත්‍රිකා තිබුණා. ඒ සියල්ලම විනාශ වූණා. මේක මගේ තාත්තාගෙන් ලැබුණු ඉඩම.88/89 භීෂණ කාලේ මේ ගෙදර නිසා විශාල පිරිසකගේ ජීවිත බේරුණා. අදටත් මේ ගෙදර දරු දැරියන් වෙනුවෙන් නොමිලයේ පංති පැවැත්වෙනවා. ඒ සියල්ලම නැති වෙලා.
බලයට කෑදර යම් යම් පිරිස් මැයි 9 වැනිදා මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිණිතියමින් රටේ භීෂණයක් මතු කළා. මේ ගිණි තැබීම් පිටුපස කුඩු ජාවාරමට සම්බන්ධ පිරිස් ඉන්නවා. ඒ සම්බන්ධ සියලුම තොරතුරු පොලීසියට ලබා දීලා තියෙනවා. ගෙවල් ගිණි තියලා අපේ දේශපාලනය නවත්තන්න බෑ. මේක පන්නරයක් කරගෙන ශක්තිමත්ව මම ඉදිරියටත් දේශපාලනය කරනවා. මේ වැරදි කරපු අයට නීතියෙන් වගේම ස්වභාව ධර්මයෙනුත් දඬුවම් ලැබේවි. ඒ දිහා බොහොම උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා.

මේ ගිණි තැබීම් පිටුපස සමහර හාමුදුරුවෝ වගේම සමහර පියතුමන්ලත් හිටියා. මීගමුවේ ව්‍යාපාරික කාන්තාවක් ඒ පියතුමාගේ නමත් කිව්වා. ඝාන්ඨාරය ගහලා මිනිස්සු කැඳවලා කෝලහාල කරපු හැටිවගේම පියතුමා මැදිහත් වෙලා ඒ මිනිස්සුන්ට ඇප දීපු හැටිත් ඒ ව්‍යාපාරික යුවල කිව්වා.
මගේ ගෙදර ගිණි තියන්න දවස් කීපයකට කලින් පියතුමන්ලා තුන්දෙනෙක් ඇතුළු පිරිසක් පෙළපාලියේ ඇවිල්ලා ගෙදර ඉස්සරහ මල්වඩමක් තියලා ගියා. ගෙදර ගිණි තියන්න මහාචාර්ය හාමුදුරු නමක් ඇතුළු පිරිසක් ආවා. සමහරු ආගමික නායකයන්ට දොස් නගන්න බයයි. මම බොරු කියන්නේ නැහැ. මම කතා කරන්නේ
මගේ හෘද සාක්ෂියට එකඟවයි. ඒ නිසා මට කිසිම බයක් නැහැ.