Spread the love


ගොඩ වැලි කැණීම් බලපත් නිකුත් කිරීම තාවකාලිකව තහනම් කරන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (13) භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට උපදෙස් දුන්නේය.
ගොඩවැලි කැණීම් මගින් දැවැන්ත පාරිසරික හානියක් සිදුවන වාර්තා වී ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා අම්බලන්තොට වලේවත්ත නැමැති ගම්මානය ම මේ වනවිට ගොඩ වැලි කැණීම් නිසා මුළුමනින්ම විනාශව ගොස් ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම වගා කළ හැකි කුඹුරු ඉඩම් මෙන්ම පොල් ඉඩම් වැනි ආර්ථික වගාවන් සහිත ඉඩම් පවා වැලි කැණීම් නිසා විනාශව ගොස් ඇති බව නිරීක්ෂණය කර ඇත.
එමනිසා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් විශේෂ කණ්ඩාමක් යොදවා පුළුල් විමර්ශණයක් සිදු කර වාර්තාවක් ලබා ගැනීමටත් එම වාර්තාවේ නිර්දේශ අනුව ඉදිරි පියවර තීරණය කිරීමටත් යෝජිතය. එතෙක් ගොඩ වැලි කැණීම් බලපත් නිකුත් කිරීම තාවකාලිකව අත් හිටුවීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
ගොඩවැලි කැණීම් නිසා වලේවත්ත ගම්මානය විශාලා මහනුවර වගේ වෙලා. ගෙවල් දොරවල් ඉවරයි. පොල්ගස් ගැළවිලා බිම වැටිලා. මිනිස්සු මුළු ගමම අතහැර ගිහින් ඉවරයි. සුරකිමු ගංගා වැඩ සටහන යටතේ වලේවත්ත ගම්මානය පුනරුත්ථාපනය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා විශාල මුදලක් වැය කරන්න සිදු වෙනවා.
එමනිසා ගොඩවැලි කැණීම් බලපත් නිකුත් කිරීම තාවකාලිකව වහාම තහනම් කරන්න මම භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට නියෝග කළා යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මැණික් පතල් කණින බව පවසමින් ඇතැම් පිරිස් බලපත් ලබා ගෙන වැලි කැණීම් සිදු කරනවා. මැණික් පතල් කැණීම් බලපත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් නිකුත් කරන්නේ නැහැ. එහෙත් ඒ සඳහා වෙනත් ආයතනයක් මගින් ලබා ගන්නා බලපත් උපයෝගි කර ගනිමින් වැලි කැණීම් සිදු කර විකිණීමේ ජාවාරමක් තිබෙනවා.
මේ නිසා දිවයිනේ ඇතැම් ප්‍රදේශවල වගා කළ හැකි ඉඩම් මෙන්ම වගාවන් සහිත ඉඩම් ද විශාල ප්‍රමාණයක් දැඩි විනාශයකට ලක්ව තිබෙනවා. ඒ වගේම එම ස්ථාන පුනරුත්ථාපණය නොකිරීම නිසා දැවැන්ත පාරිසරික හානියක් සිදු ව තිබෙනවා යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.