Spread the love

විසි වසරකට වඩා පැරණි ගොවිජන සංවර්ධන පනත සංශෝධනය කිරීමට කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කරයි.

2000 අංක 46 දරණ ගොවිජන සංවර්ධන පනත සංශෝධනය කිරීමට 2011 වසරේ දී පියවර ගත්ත ද එම කටයුතු 2000 සිට වසර 20කට අධික කාලයක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අදාල සංශෝධන ඇතුළත් කර ගොවිජන සංවර්ධන පනත සංශෝධනය කිරීමේ ගැසට් පත්‍රය වහාම සකස් කරන ලෙස කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ ( 05) ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

ගොවිජන සංවර්ධන පනත සංශෝධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (05) අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විනි. එම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ. එච්. එම්. එල් අබේරත්න මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
මේ යටතේ අඳ ගොවි ගැටළු, අයාලේ යන සතුන් විසින් වගාවන්ට සිදු කරන හානි හා සංවර්ධන සභා පිහිටුවීම යන කරුණුවලට අදාලව සංශෝධනයන් සිදු කිරීමට නියමිතය.

විශේෂයෙන් අයාළේ යන සතුන් වගා හානි සිදු කළ විට ඔවුන් බැඳ තබන අවස්ථාවල දී එම සතුන්ට ආහාර පාන ලබා දීම වෙනුවෙන් ගොවීන්ට එම සතුන් අයිතිකරු විසින් ගෙවිය යුතු මුදල ලෙස මෙතෙක් පැවැතියේ දිනකට රුපියල් 25ක් වශයෙනි. එම මුදල දශක ගණනක් පැරණි දඩ මුදලකි.
එමනිසා එම මුදල දිනකට රුපියල් 1000 දක්වා වැඩි කිරීමට යෝජිතය.
එමෙන්ම අඳ ගොවි අයිතිවාසිකම් සුරැකෙන පරිදි තවදුරටත් ඔවුන්ට හිමි විය යුතු කොටස පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දුන්නේය. දැනට අඳ ගොවීන්ට වී වගා කරන අක්කරයක් සඳහා ලැබෙන වී ප්‍රමාණය වී බුසල් 14කි. වර්තමානයේ නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් තිබෙන නිසාත්, අඳේට කුඹුරු වගා කරන ගොවීන් විසින් අදාල පිරිවැය සම්පූර්ණයෙන්ම දැරීමට සිදු වන නිසාත් කුඹුරුවලින් ලැබෙන අස්වැන්නෙන් දැනට ලබා දෙන කොටසට වැඩි ප්‍රමාණයක් ලබා දීම සම්බන්ධව අවධානය යොමු කරන්නැයි අමාත්‍යවරයා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
යෝජිත සංශෝධන ඇතුළත් ගොවිජන සංවර්ධන පනතේ අවසාන කෙටුම්පත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව අද දින (06) ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ලබා දීමට නියමිත අතර එය පාර්ලිමේන්තුවේ අනුමැතිය මත කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් ඉදිරියේ දී ගැසට් කිරීමට නියමිතය.