Spread the love


නිමල් රාජපක්ෂ-

ගොවීන්ට QR ඛේතයක් – පොහොර සදහා මුල්‍යමය ප්‍රතිපාදන

මහ කන්නයේ දී රජය පොහොර බෙදා හැරීමේ වැඩ පිළිවෙග පුද්ගලික අංශයට බාර දි ගොවි ජනතාවට අවශ්‍ය රසායනික පොහොර, කාබනික පොහොර, බීජ වර්ග හා අනෙකුත් කෘෂි යෙදවුම් මිල දී ගැනීම සඳහා ගොවි ජනතාවට මූල්‍යමය සහනාධාරයක් ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ සඳහා QR ඛේතයක් සෑම ගොවියෙකුටම ලබා දෙන අතර ගොවි ජනතාවට තමන්ට අවශ්‍ය කෘෂි යෙදවුම් එමගින් ලබා ගැනීමට හැකිවේ.

2022/23 යල කන්නයේ දී යුරියා පොහොර හා බන්ඩි ‍ පොහොර බෙදා හැරීම සඳහා රජය විසින් රුපියල් බිලියන 6.5ක් වැය කර තිබේ. මෙවර යල කන්නයේ දී මඩපොහොර බෙදාහැරීම සඳහා ද රුපියල් බිලියන 02ක් වැය කිරීමට සිදුවිය.

මෙම මුදල් ගොවි ජනතාවට සහනාධාරයක් වශයෙන් ලබා දීම මගින් ගොවීන්ට අවශ්‍ය දේවල් මිල දී ගැනීමට අවස්ථාව සලසා දීම එම වැඩ පිළිවෙළෙහි අරමුණ වේ.

එමෙන්ම මෙවර යල කන්නයේ දී කුඹුරු වගා කරන සියලු ගොවීන්ට හෙක්ටෙයාර් එකක් සඳහා රුපියල් 20,000ක මුදලක් හා හෙක්ටෙයාර් දෙකක් සඳහා රුපියල් 40,000ක මුදලක් පොහොර, බිත්තර වී හෝ පැරචුට් ක්‍රමයට වී වගා කිරීම සඳහා අවශ්‍ය පැරචුට් තැටි මිල දී ගැනීම සඳහා ලබා දීමට ද රජය තීරණය කර තිබේ.

මඩ පොහොර නොමිලයේ ම රජය විසින් ලබා දෙන අතර අනෙකුත් කෘෂි යෙදවුම් මිල දී ගැනීම සඳහා සියලුම ගොවීන්ට කූපන් පත්‍රයක් නිකුත් කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කරයි.