Spread the love

කල් දැමීමකින් තොරව පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.

සමගි ජන බලවේගය වෙනුවෙන් කොළඹ මහනගර සභාව සඳහා තරග වදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමන් මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබුණි. 

මෙම පෙත්සම අද (07) ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ පෙත්සම සලකාබැලීම සඳහා ලබන 16 වනදා කැඳවන ලෙසය.

පෙත්සම්කාර මුජිබුර් රහුමාන් කියා සිටින්නේ, රජය විවිධ උපක්‍රම උපයෝගී කරගනිමින් පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමීමට උත්සාහ කරන බවය.

මේ තුළින් ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය වන බව පෙන්වා දෙන පෙත්සම්කරු, නියමිත පරිදි පළාත් පාලන මැතිවරණය බාධාවකින් තොරව පවත්වන්න නියෝග නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබේ.