Spread the love

ශ්‍රී දළදා වහන්සේ වැඩසිටින කරඬුව වැඩම කර වූ මියගිය නැදුන්ගමුවේ රාජා හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

ජනාධිපතිතුමා දැනුම් දී ඇත්තේ අනාගත පරපුරට දැකගැනීම සඳහා නැදුන්ගමුවේ හස්තිරාජයාගේ සිරැර සංරක්ෂණය කරන ලෙසයි.

ජාතික කෞතුකාගාරයේ නිලධාරීන් කණ්ඩායමක් ඒ සඳහා හස්තිරාජයා සිටිගම්පහ, වැලිවේරිය, නැදුන්ගමුව වෙත ගොස් තිබෙනවා.

මුලු මහත් ජාතියේම අසීමිත ගෞරවාදරයකට පාත්‍රවූ නැදුන්ගමුවේ රාජා හස්තියා මිය ගියේ අද අළුයමයි. හස්තියා මියයන විට 69 වියේ පසුවුණා. ආසියාවේ උසම හීලෑ දළ ඇතා ලෙසින් නම් දැරූ නැදුන්ගමුවේ රාජා හස්තියා 2006 වසරේ සිට ශ්‍රී දළඳා මාලිගා පෙරහැරේ සධාතුක කරඬුව වැඩම කරවීමට තරම් භාග්‍යවන්ත වුණා. 

ගම්පහ වැලිවේරිය නැදුන්ගමුවේ ජීවත්වූ උසින් අඩි 10 හමාරක් පමණ වන රාජාගේ ගාම්භීරත්වය තවත් වැඩි වූයේ අඩි 05ක් පමණ දිගැති ස්වේත වර්ණ දළ යුගලය හේතුවෙන්. කලක් රෝගාතුරව සිටි නැදුන්ගමුවේ රාජා හස්තියා වාසය කළ නිවසේදීම අද මියගියා. 

නැදුන්ගමුවේ රාජා හස්තියාට අවසන් ගෞරව බුහුමන් දැක්වීමට අද දවස පුරා විශාල පිරිසක් පැමිණ සිටියා. අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටි ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑළ මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.

අද පස්වරුවේ ආගමික වැඩසටහනක්ද සංවිධානය කර තිබුණා. මහා සංඝරත්නයේ වැඩමවීමෙන් පැවති එම අවස්ථාවටද විශාල පිරිසක් එක්ව සිටියා.

ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන පැවසුවේ හස්තියාගේ සිරුර සංරක්ෂණය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි.