Spread the love


ශ්‍රී ලංකාවේ ධීවර ප්‍රජාව ගේ වෘත්තිය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ඔවුන්ගේ සමාජ ආරක්ෂක සුබසාධන ක්‍රමවේදයන්, ජාත්‍යන්තර මට්ටමින් පවතින නීති රීති වලට අනුව සකස් විය යුතු බවට ලෝක කම්කරු සංවිධානයේ නියෝජිතයන් පිරිසක් පැවසුහ. එම සංවිධායක වරු එසේ පැවසුවේ අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සහ රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා ඇතුළු නිලධාරීන් පෙරේදා පැවැති සාචච්ජාවකදීය
මෙහිදී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර කම්කරු සංවිධානය ඉදිරිපත් කරන යෝජනා පිළිබඳව ඉතාමත් සැලකිල්ලක් දක්වන බවත්, ඒවා ශ්‍රී ලංකාවේ ධීවරයන්ගේ අයිතිවාසිකම් ජාත්‍යන්තර කම්කරු නීතිරීති අනුව සකස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත්ය.
ඒ සඳහා ලෝක කම්කරු සංවිධානය යෝජනා හා ප්‍රතිපත්ති අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කිරීම ගැන ස්තූතිවන්ත වන බවයි. මෙහිදී විශේෂයෙන් ධීවර පවුල්වල සුබසාධනය හා සාගරයේ සිදුවන අනතුරු වලදී ධීවරයන්ට වන්දි ගෙවීම වැනි දේවල් ජාත්‍යන්තර නීති රීති වලට අනුව සිදුවිය යුතු බව ලෝක කම්කරු සංවිධානය පවසයි.
මෙම සාකච්ඡාව ලෝක කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතයින් වන තෝමස් ක්‍රිස් ඇතුළු පිරිසක් සහභාගී වූ අතර ලෝක කම්කරු සංවිධානයේ නීතිඥවරියක් විසින් එම සංවිධානයේ කරුණු අමාත්‍යවරයාට ඉදිරිපත් කරන ලදී.