Spread the love

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනකට ‍මීට පෙර යන්න තිබූ බවට තමන් විශ්වාස කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ගොවීන්ට රසායනික පොහොර ලබා නොදීම තමා වරදක් ලෙස දකින බවත් ඒවා නැවත ලබාදීමට ක්‍රියා කර ඇති බවයි.

අද පවතින අර්බුදය ජනතාව ඉල්ලූ ක්‍රම වෙනස සිදු කිරීමට හොඳ අවස්ථාවක් බවත් ඒ සඳහා සහයෝගය ලබා දෙන ලෙස තරුණයින්ගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය වැදගත් තීන්දු කිහිපයක්ම මේ වන විටත් අරගෙන ඇති බවත් එහි මූලික පියවරක් ලෙස මුදල් අමාත්‍යවරයෙක්, නව මහ බැංකු අධිපතිරයෙක් හා භාණ්ඩාගාර ලේකම්වරයෙක් පත් කර ඇති බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ඉදිරි සති කිහිපය තුළ ඉන්ධන හා ගෑස් හිඟය පාලනය කර ගැනීමට අවශ්‍ය තීන්දු සහ තීරණ ගෙන ඇති බවත් දුෂ්කරතා මධ්‍යයේ වුවත් අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් ලබාගෙන ඉදිරි කාලයේදී විදුලිය කැපීම පැය දෙකකටවත් සීමා කිරීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

ජනාධිපතිවරයා එහිදී තවදුරටත් සඳහන් කළේ, සමාජයේ ඉතාමත්ම ක්‍රියාශීලී ජන කොටස වන තරුණ පරපුර තමන්ගේ පීඩනය ඔවුන්ටම ආවේනික ක්‍රමවලින් පිට කිරීම කිසිඳු වරදක් නොමැති බවත් රටේ අනාගතය බාරගන්න සිටින තරුණ පරපුරට තම අදහස් පළකරන්නට, විරෝධතා සංවිධානය කරන්නට හා උද්ඝෝෂණ කරන්නට අද සම්පූර්ණ නිදහස තිබෙන බවයි.

එසේම හැට නව ලක්ෂයක් ඡන්දය භාවිතා කර තමාව පත් කළේ විශාල විශ්වාසයකින් බවත් තම ධූරකාලය තුළ එම බලාපොරොත්තු ඉටු කිරීමට බැඳී සිටින බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.