Spread the love

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයන්ට මෙවර අවුරුදු සැමරීම සඳහා රුපියල් තිස් දහසක මුදලක් ලබා දී තිබේ.

සංස්ථාවේ සහ කොළොන්නාව තොග නිමාවේ සේවකයන් හාරදහස් දෙසියකගේ ගිණුම්වලට මෙම මුදල බැරකොට ඇති අතර ඒ සඳහා රුපියල් කෝටි දොළහකට අධික මුදලක් වැය වී ඇති බව සංස්ථා ආරංචි මාර්ග පවසයි.

එහෙත් එම මුදල ලැබුණේ කෙසේද යන්න එහි සේවකයන් නොදන්නා අතර එය උත්සව අත්තිකාරමක් ලෙස ලබා දුන්නේද එසේ නොමැතිව අලුත් අවුරුදු ප්‍රසාද දීමනාවක් ලෙස ලබා දුන්නේද යන්න සම්බන්ධයෙන් තමන් දැනුවත් නොමැති බව එහි සේවකයෝ පවසති.

මීට පෙර උත්සව අත්තිකාරම් ලෙස මුදල් ලබා දෙන විට සේවකයන්ගෙන් අයදුම් පත්‍රයක් පුරවා ගන්නා නමුත් මෙවර එසේ නොකර කිසිදු විමසීමකින් තොරව සිය ගිණුම්වලට මුදල් බැර කර ඇති බව පවසති.

මේ වන විට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 1.63ක්ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 1.15ක්ද, ඩීසල් ලීටයකින් ශත 4ක්ද, සුපිරි ඩීසල් ලීටරයකින් රුපියල් 2.26ක්ද, භූමිතෙල් ලීටරයකින් රුපියල් 2.66 වශයෙන් ලාභයක් ලබන බව සංස්ථාව සඳහන් කරයි. ඒ අනුව පසුගිය පෙබරවාරියේ දී සංස්ථාව රුපියල් බිලියන පහකට අධික ලාභයක් උපයා ඇති බව සංස්ථා ආරංචි මාර්ග පවසයි.