Spread the love

ගාල්ල දිස්ත්‍රික්කයේ මී උණ රෝගීන් වාර්තාවීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥා වෛද්‍ය එරංග හෙට්ටිආරච්චි මහතා පැවසීය.

මෙම වසරේ ගතවූ දින කිහිපය තුළ මී උණ රෝගීන් කිහිප දෙනෙකු රෝහල් වලින් ප්‍රතිකාර ගෙන තිබේ.මේ අතර පසුගිය වසරේ මී උණ රෝගීන් 312 දෙනෙකු ගාල්ල දිස්ත්‍රික්කයෙන් හදුනා ගෙන ඇතිබව වෛද්‍ය එරංග හෙට්ටිආරච්චි මහතා පැවසීය.

එම රෝගීන් ගෙන් 06 දෙනෙකු මියගොස් තිබේ.වැඩිම මී උණ රෝගීන් සංඛ්‍යාවක් කරන්දෙනිය සහ ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස වලින් හඳුනා ගෙන ඇතිබවද පැවසීය.කෘෂිකර්ම කටයුතු වලදී කුඹුරු වලට බැසීමෙන් මී උණ රෝගය වැලදෙනු ඇත.

පාද වල,දෑත් වල සහ කුඹුරු ජලයේ ස්පර්ශ වන ස්ථාන වල තුවාල හෝ සීරීම් ඇත් නම් මී උණ වෛරසය ජලයේ තිබි ශරීර ගතවිය හැකිය.ඒ හේතුවෙන් එවැනි පුද්ගලයන් කුඹුරු වලට බැසීමේදී වඩාත් කල්පනාකාරී විය යුතු බව ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥාවරයා සදහන් කළේය.

මී උණ රෝගයෙන් ආරක්ෂාවීම සඳහා ලබා දෙන ප්‍රතිජීවක ඖෂධ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාල මගින් ලබා ගත හැකි බව වැඩිදුරටත් පැවසීය