Spread the love

ඉන්දියාව සමඟ දියුණු ආර්ථික සහයෝගිතාවයක් අපේක්ෂා කරන බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා පවසයි.

නවදිල්ලි නුවර දී ඉන්දියාවේ මුදල් හා ආයතනික කටයුතු ඇමැතිනී නිර්මලා සීතාරාමන් මහත්මිය හමු වූ අවස්ථාවේ දී ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා, , ඉන්දියාව සමඟ ආර්ථික සහයෝගිතාවය තවදුරටත් වැඩිදියුණු කිරීමේ ක්‍රමෝපායන් අපේක්ෂා කරන බව පවසා ඇත.

සීතාරාමන් මහත්මිය, සිය ශ්‍රී ලංකා සංචාර පිළිබඳ ව සිහිපත් කරමින්, මහ කොමසාරිස් මොරගොඩ මහතා උණුසුම් ලෙස පිළිගෙන තිබෙන අතර ඉන්දියාවේ මුදල් හා ආයතනික කටයුතු ඇමැතිවරිය සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා අතර ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගිතාවයට අදාළ කරුණු රැසක් පිළිබඳව මෙහි දී සාකච්ඡා කළ බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

මහ කොමසාරිස් මොරගොඩ මහතා විසින්, “2021/2023 ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික දූතමණ්ඩල සඳහා ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ රාජ්‍ය උපායමාර්ගය” නම් වූ සිය ප්‍රතිපත්තිමය මාර්ග සටහනේ පිටපතක් ද මුදල් හා ආයතනික කටයුතු ඇමැතිවරිය වෙත පිළිගන්වා ඇත.