Spread the love

ශ්‍රී ලාංකික තරුණ තරුණියන් නාවික ක්⁣ෂේත්‍රයේ රැකියා සඳහා යොමු කිරීමට අවශ්‍ය පුහුණු පාඨමාලා වැඩි වශයෙන් ආරම්භ කිරිමට පියවර ගන්නා බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා නාවික විශ්වවිද්‍යාල සහ ආයතන බලධාරීන් සමග පසුගියදා අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම අදහස් පළ කළේය. එහිදී හැකි ඉක්මනින් මෙම පුහුණු පාඨමාලා වැඩි වශයෙන් ආරම්භ කරන ලෙස නාවික විශ්වවිද්‍යාල ඇතුළු අධ්‍යාපන ආයතනවල බලධාරීන්ට උපදෙස් දුන්නේය.
මෙම සාකච්ඡාවේදි ශ්‍රී ලංකාවේ නාවිකයන් ප්‍රමාණය සහ රැකියා අවස්ථාවන් වැඩිකිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිලිබඳව සාකච්ඡා කරන ලදී .

ඒ අනුව, නුපුහුණු නාවිකයන් පුහුණු කිරිමට වරායේ ටග් යාත්‍රාවල සේවයෙහි යෙදවීම, විදේශීය තානාපති කාර්යාල සමග සාකච්ඡා කොට විදේශීය නෞකාවල රැකියා හා පුහුණු අවස්ථා ලබාගැනීම, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වි⁣දේශීය නැව් සමාගම් මගින් රැකියා හා පුහුණු අවස්ථා ලබාගැනීම, මෙරටට පැමිණෙන විදේශීය නෞකා සඳහා දිරි දීමනා ලබාදෙමින් ඒවා තුළ නාවිකයන් පුහුණු කිරීම, පෞද්ගලික විශ්ව විද්‍යාල හා ආයතන මගින් පුහුණුව අවසන් කල අයට ප්‍රවීනතා සහතික කඩිනමින් ලබාදීම වැනි ප්‍රධාන කරුණු කීපයක් ක්‍රියාත්මක කිරිමට තීරණය කරන ලදී .

පිලිපීනය වැනි රටවල තරුණ ශ්‍රම බලකායෙන් 10% ක් පමණ නාවික කේෂ්ත්‍රයේ රැකියාවල නිරතව සිටින බවත් ඔවුන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටට උපයා දෙන බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙහිදී වාර්ෂිකව නාවිකයන් 8000 ක් පමණ වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ ගිවිසුම් අත්සන් කර නෞකාවල සේවයේ යෙදෙන බව එම බලධාරීන් ප්‍රකාශ කලේය .
මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී එස් රුවන්චන්ද්‍ර, නැව් සංස්ථාවේ සභාපති ඩබ්.එස්. වීරමන්, වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනවිරත්න යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.