Spread the love

පැල්පත්වලින් තොර රටක් බිහිකර දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම රජයේ ප්‍රමුණ අරමුණ යැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
අග්‍රමාත්‍යවරයා මෙසේ පැවසුවේ ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් අද(.03 ) අරලියගහ මන්දිරයේ පැවැති උත්සවය අමතමිනි.
“වෙනසක් නොකරමු, කිසිවකු හෝ කිසිතැනක් අත් නොහැර රැකගනිමු” යන තේමාවෙන් පැවැති මෙම උත්සවයේදී නිවාස හිමිකම් ඔප්පු 650ක් ප්‍රධානය කිරීම ද සිදුවිය.
සෑම වර්ෂයකම ඔක්තෝබර් මස පළමු සඳුදා දිනයේදී ලෝක ජනාවාස දිනය සමරන අතර මෙවර පැවැත්වුණේ එහි 36 වැනි සැමරුමයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය.
ලෝක ජනාවාස දිනය අර්ථාන්විත බවට පරිවර්තනය වූයේ ශ්‍රී ලංකාවෙන් නැගුණු හඬ නිසා බව ඉතිහාසයේ සඳහන්ව තිබෙනවා. මෙම උත්සවය සාර්ථක කිරීම සඳහා කෙරෙන වැඩසටහන ජාතික සංවර්ධන වැඩපිළිවෙළටත්, අයවැය වැඩසටහනටත් ඇතුල් වී තිබෙනවා. අප ජීවත්වන ලෝකයේ ආහාර , නිවාස හා වස්ත්‍රය මිනිස් ජීවිතයක අයිතිවාසිකමක් ලෙස පිළිගනු ලබනවා. එම මනුෂ්‍යත්වයේ අයිතිය ක්‍රියාත්මක කරවා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා සෑම රටක්ම උත්සාහය දරනවා. එක්සත්ව කටයුතු කළ හැකි ක්‍රියාමාර්ගයක් බවට ජනාවාස වැඩසටහන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය පිළිගනු ලැබ තිබෙනවා.
එහි ආරම්භක ක්‍රියාදාමයට ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මහතා එවකට නිවාස අමාත්‍යවරයා ලෙස ගත් පියවර ලොවම පිළිගත්තා. එහි අරමුණ වූයේ ලොව පුරා නිවසක් නැති සෑම පවුලකටම නිවසක බලාපොරොත්තුව ඉටු කර ගත හැකි දවස උදා කිරීමයි. ඒ වෙනුවෙන් ජාත්‍යන්තරව හා දේශීයව සැකසුණු ආයතන රාශියක් විවිධ රටවල බිහිවුණා. ඒ නිසා අපේ රටේ ද සංස්ථා, දෙපාර්තමේන්තු,ආයතන බිහිවි තිබෙනවා. සුවිශේෂීව නාගරිකව වෙසෙන ජනතාවට පහසුකම් ලබා ගැනීමේ අයිතිය තිබෙනවා. ඒ අතරට නිවාසය, නිවාස වල ජීවත් ජීවත් වන ජනතාවට අවශ්‍ය සනීපාරක්ෂාව සහ දරුවන්ගේ අධ්‍යාපනය අයත් වෙනවා. කොළඹ නගරයේ පමණක් සම්පූර්ණ පහසුකම් නොමැති වතු 1200 ක් තිබෙනවා. අඩු ආදායම් ලබන ඒ පහසුකම් සඳහා හිමිකම් නොමැති වීම නිසා නිවාස අමාත්‍යාංශයත් නිවාස අධිකාරියත් නාගරික සංවර්ධන අමාත්‍යාංශයත් නාගරික සංවර්ධන අධිකාරියත් නාගරික ජනාවාස අධිකාරිය වැනි ආයතන රාශියක සෙවණ සොයනවා.
කොළඹ මහ නගර සභාව ද වසර සියයකට වැඩි කාලයක සිට ඒම කටයුත්තේ නිරතව සිටිනවා. ජනාවාස ගැටළු ජයගැනීමට ජනාධිපතිවරයාගේ ලෝක ජනාවාස දින පණිවිඩයෙන් ස්ථාවර ප්‍රතිඥාවක් ප්‍රකාශයට පත් කළා. විශේෂයෙන් ඒ සඳහා සුවිශේෂ වැඩසටහනක් මෙවර අයවැයෙන් ද ප්‍රකාශයට පත් කරනවා. එම වැඩසටහන ක්‍රියාත්මක කරවාගැනීමේ මාර්ගය සකස් කර ගැනීමට අපි කැප විය යුතුයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා
මෙවර ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් අපි මේ සැමරුම් උත්සවය සංවිධානය කරන්නේ අපේ රට තීරණාත්මක අවස්ථාවක. අර්බුදයෙන් යළි නැගී සිටිමේ උත්සාහයක රටක් ලෙස අප නිරතව සිටිනවා.
මේ උත්සවය කාරණ දෙකක් නිසා අපට වැදගත්. එකක් මැයි 09 වැනිදායි පස්සේ අපි පවත්වන පළමු ජාත්‍යන්තර දින සැමරුම. අනික අරලියගහ මන්දිරයේ මැයි 09 වැනිදයින් පස්සේ පවත්වන පළමු රැස්වීම. මේ සඳහා අපිට අරලියගහ මන්දිර ශාලාව ලබා දුන් ගරු අග්‍රාමාත්‍යතුමාට,
අග්‍රාමාත්‍ය ලේකම්තුමාට ස්තූතිය පුද කරන්න කැමැතියි. ඒ වගේම මේ සඳහා අපට අවශ්‍ය උපදෙස් දුන් ජනාධිපතිතුමත් මා මේ මොහොතේ සිහිපත් කරනවා.
අපි මේ සමරන්නේ ලෝක ජනාවාස දිනයේ 36 වන සංවත්සරයයි. 1985 එක්සත් ජාතින්ගේ සංවිධා සෑම වසරකම ඔක්තෝබර් මස පළමුවෙනි සඳුදා ලෝක ජනාවාස දිනය ලෙසින් ප්‍රකාශයට පත්කරන ලෙස යෝජනාවක් ඉදිරිපත් කළේ එවකට මෙරට අග්‍රාමාත්‍යවරයා සහ නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රණසිංහ ප්‍රේමදාස මහතායි. අපි එතුමා මේ මොහොතේ කෘතවේදීව සිහිපත් කරනවා.
1986 සිට පසුගිය තිස්පස් වසර තුළ නිවාස හා ජනාවාස කේෂ්ත්‍රයට අදාළ විවිධ තේමාවන් යටතේ ලෝක ජනවාස දිනය සැමරුවා. මෙවර එහි තේමාව වන්නේ “වෙනසක් නොකරමු, කිසිවකු හෝ කිසිතැනක් අත්නොහැර රැක ගනිමු” යන්නයි.

ජනාවාස සංවර්ධන වැඩපිළීවෙළ තවදුරටත් ශක්තිමත් කරනවා. ජනාවාස දිනය නිමිත්තෙන් පැවැත්වෙන මේ දිනයේදී එක්ව නැගිටින්න අදිටන් කර ගනිමු. අපි අරගල කරන්න ඕනේ ගෙවල් හදන්න මිසක් ගෙවල් ගිණි තියන්න නෙවෙයි. අරගල කළ යුත්තේ මිනිස්සු මරන්න නෙවෙයි. මිනිස්සු ජිවත් කරන්න. අරගල කළ යුත්තේ රටක් ගොඩනගන්න මිසක් රට වට්ටන්න නෙවෙයි. අද ඒ අභියෝගය රජය භාරගෙන තිබෙනවා. ඒ සදහා සියළු දෙනාගේ සහයෝගය ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ ලෝක ජනාවාස දින පණිවිඩය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා විසින් සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ ලෝක ජනාවාස දින පණිවිඩය එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා මානව ජනාවාස වැඩසටහනෙහි මෙරට ප්‍රධානී ලක්ෂ්මන් පෙරේරා මහතා විසින් ඉදිරිපත් කරන ලදි.
ලෝක ජනාවාස දින සැමරුමට සමඟාමීව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය සහ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය එක්ව නාගරික ජනාවාසවල ජනතාව වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ ළමා චිත්‍ර, කෙටි චිත්‍රපට හා ගෙවතු වගා තරඟවල ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රධානය කිරීම මෙන්ම ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මගින් නිවාස හිමිකම් ඔප්පු 650ක් ප්‍රධානය කිරීම ද මෙහිදී සිදුවිය.
මෙම අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය ඇමැති තේණුක විදානගමගේ හා අරුන්දික ප්‍රනාන්දු, අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් රත්නායක, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත රත්නායක, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විජයානන්ද හේරත්, නාගරික සංවර්ධන අධිකාරියේ අධිකාරියේ සභාපති නිමේෂ් පෙරේරා, නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජිව් සූරියාරච්චි, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති නීතිඥ සරණ කරුණාරත්න ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී වූහ.