Spread the love

නිවාස 30,000 ක වැඩ අවසන් කිරීම මේ වසරේ අපගේ ඉලක්කය බව ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඔබට ගෙයක් – රටට හෙටක්ජාතික නිවාස වැඩසටහනේ 2022 හම්බන්තොට දිස්ත්‍රික් සමාරම්භක උත්සවයට සහභාගි වෙමිණි. මෙම උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් තංගල්ල නගර සභා ශාලාවේදී පැවැත්වුණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා, “නිවාස රාජ්‍ය අමාත්‍යාංශය විසින් මේ වනවිට ආරම්භ කර ඇති සියළුම නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කරන අවස්ථාවේදී මා එයින් කිසිදු දේශපාලන වාසියක් ලබා ගත්තේ නැහැ. නිවාස රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඒ සඳහා සම්පූර්ණ උපදේශකත්වය, අනුශාසකත්වය, මඟපෙන්වීම ලබා දුන්නේ අග්‍රාමාත්‍යතුමන් විසිනි. එතුමන් මේ වැඩසටහන හරියාකාරව මහ පොළොවේ ක්‍රියාත්මක කරන්නට අවස්ථාව ලබා දුන්න නිසා අද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන්ට පමණක් නොවෙයි, මෙරට පවුල් 24,000 කට වැඩි ප්‍රමාණයකට ප්‍රතිලාභ ලබා දීමට අපට හැකි වී තිබෙනවා. මේ වසර අවසනායේදී අපගේ ඉලක්කය නිවාස 30,000 කට වැඩි ප්‍රමාණයක වැඩ අවසන් කිරීමයි.
පසුගිය රාජ්‍ය කාලයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිවාස ඉදිකරන්නට ගොස් මුල්ගලට සිමා වූ,නිවාස ඉදිකරගත්ද ජලය, විදුලිය, මාර්ග ඇතුළු මූලික පහසුකම් නැහැ. ණය ලබා ගෙන ඉදිකරන නිවසේ ඔප්පුව පවා නොමැති බොහෝ පිරිසක් තවමත් සිටිනවා. එසේ කළේ කවුරුන්ද ? මෙවැනි අපරාද සිදුකර විපක්ෂය අද සුද්දවන්තයින් ලෙස ජනතාව ඉදිරියේ සිට ගන්නවා. අපි මේ ගැන කතා නොකලොහොත් ඔවුන් සමාජයේ නිර්දෝෂීත් වෙනවා.



හම්බන්තොට වරාය ආසියාවේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට හිටපු ජනපති වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළා. 2015 – 2019 කාලයේදී හම්බන්තොට වරාය විකුණන අවස්ථාවේදී වත්මන් විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවේදී ඒ ගැන කතා කළේ නැහැ. ඒ ගැන පාර්ලිමේන්තුව තුළ වචනයක් හරි කතා කළ බවට හැන්සාඩ් ගත වී තිබෙනවා නම් මා රාජ්‍ය ඇමැතිකමින් ඉල්ලා අස්වෙන්න සුදානම්. එසේ නොමැතිනම් දේශපාලන ජිවිතයෙන්ම සමු ගන්නටත්.
මෙම වැඩසටහනේදී ඔබට ගෙයක් – රටට හෙටක් නිවාස වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් 588 දෙනෙකු සඳහා රුපියල් මිලියන 388.200 ක නිවාස ආධාර චෙක්පත් ප්‍රදානය කිරීම, සෙවණ නිවාස ආධාර වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් 24 දෙනෙකු සඳහා රුපියල් මිලියන 12.615 ක චෙක් පත් ප්‍රදානය කිරීම, මිහිඳු නිවහන නිවාස වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් 14 දෙනෙකු සඳහා රුපියල් මිලියන 7.100 ක නිවාස ආධාර චෙක්පත් ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් සිදු කෙරිණි.
ග්‍රාමිය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් මෙය ක්‍රියාවට නංවනු ලබයි.