Spread the love

නිමල් රාජපක්ෂ-

අප රටේ වාර්ෂිකව එළවලුවලින් සියයට 19ක් හා පලතුරුවලින් සියයට 21ක් නිසි ප්‍රවාහන කටයුතු අනුගමනය නොකිරීම නිසා පාරිභෝජනයට ගත නොහැකිව විනාශ වන බවට තොරතුරු ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඒ අනුව වාර්ෂිකව එළවළු මෙට්‍රික් ටොන් 221,955ක් පමණ හා පලතුරු මෙට්‍රික් ටොන් 290,151ක් පමණ ප්‍රමාණයක් ප්‍රවාහනයේ දී රටේ ජනතාවගේ පාරිභෝජනයට අහිමි වෙතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පසුගියදා ආහාර සුරක්ෂිතතාවය පිලිබඳ විශ්ව විද්‍යාල කිහිපයක ආචාර්ය මහාචාර්යවරුන් සමග පැවැති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
2011 දී මෙරට පිහිටුවන ලද ආහාර විද්‍යා හා තාක්ෂණය පිළිබඳ ආයතනයට සමගාමීව ශ්‍රී ලංකාවේ සියලු පහසුකම්වලින් සමන්විත ප්‍රථම ආහාර පර්යේෂණාගාරයක් ස්ථාපිත කිරීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්විනි.
2016 දී මේ සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබුනත්, එම කාර්යය මෙතෙක් ඉටු නොවීම නිසා නැවත අලුතින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කිරීමට මෙම සාකච්ඡාවේ දී තීරණය විය. අප රටේ දැනට විදිමත් ආහාර පර්යේෂණාගාරයක් නොමැතිවීම බරපතල අඩුපාඩුවකි.
එහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකාවේ පසු අස්වනු හානිය ඉතාමත් ඉහළ මට්ටමක පවතින බවත්, ලබන අස්වනුවලින් සියයට 40කට ආසන්න ප්‍රමාණයක් පසු අස්වනු හානිය නිසා රටට අහිමිවන බව සඳහන් කළේය. එමෙන්ම අපතේ යන ආහාර ප්‍රමාණය ද නාගරිකව ගත් කළ ඉතා ඉහළ මට්ටමක පවතී.

2021 දී අප රටේ අපතේ ගිය ආහාර ප්‍රමාණය සළකා බැලූ විට එය තවත් පුද්ගලයින් මිලියන 10කට ආහාර සැපයීමට තරම් ප්‍රමාණවත් බව ද මෙම සාකච්ඡාවේ දී හෙළිදරව් විය.
මෙම සාකච්ඡාවට මහාචාර්යවරුන්වන කේ. කේ. ඩී. එස් රණවීර, මහාචාර්ය උපාලි සමරවීර, මහාචාර්ය නිරන්ජලී පෙරේරා, ආචාර්ය සුමුදු වර්ණකුලසූරිය යන මහත්ම මහත්මීහු සහභාගි වී සිටියහ.