Spread the love

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන බහුතරයක් පාඩු ලබන තත්ත්වයට පත්ව ඇතත්, රාජ්‍ය දැව සංස්ථාව අර්බුදකාරී අවසථාවක දී පවා රුපියල් කෝටි 150ක ආදායමක් උපයා ගෙන ඇතැයි කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.රාජ්‍ය දැව සංස්ථාව පසුගිය වසරේ රුපියල් බිලියන 1.5ක දැවැන්ත ලාභයක් අත්පත් කරගෙන තිබේ. කොරෝනා වසංගත තත්ත්වය මධ්‍යයේ වුවත්, මෙවැනි විශාල ලාභයක් අත්පත් කරගැනීමට හැකිවූයේ, එම සංස්ථාව මනා මූල්‍ය කලමනාකාරීත්වයකින් යුක්තව කටයුතු කළ නිසා යැයි රාජ්‍ය දැව සංස්ථාවේ නිලධාරීහු පවසති.

ඊයේ ( 07) පස්වරුවේ කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය දැව සංස්ථා ශ්‍රවනාගාරයේදී පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙම කරුණු අනාවරණයවිය.
දැනට ශ්‍රී ලංකා රාජ්‍ය දැව සංස්ථාව සතුව තිබෙන මූල්‍ය වත්කම් ප්‍රමාණය ඉතාමත් ඉහළ මට්ටමක පවතින බවත් සෑම වසරකම රාජ්‍ය දැව සංස්ථාව විසින් රජයට රුපියල් මිලියන 2000ක මුදලක් මහ භාණ්ඩාගාරය වෙත ලබාදෙන බවත් , මෙම වසර තුළ ද එම මුදල ලබා දීමට කටයුතු කරන බවත් මෙහිදී සඳහන් විය.

රාජ්‍ය දැව සංස්ථාව විසින් උසස් තත්ත්වයේ දැවමය ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කරනු ලබයි. දැනට දැව සංස්ථාව සතුව කළුවර දැව බහාලුම් 20ක පමණ ප්‍රමාණයක් තිබේ. මේවා මිශ්‍ර කර දැව භාණ්ඩ නිපදවා විදේශ රටවලට අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් අරඹන ලෙසත්, එම ගෘහ භාණ්ඩ විදේශ රටවලට අලෙවි කිරීම මඟින් විදේශ විනිමය උපයා ගැනීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

‍එමෙන්ම රාජ්‍ය දැව සංස්ථාවට අයත් මධ්‍යස්ථාන 34ක් දිවයින පුරා තිබෙන අතර, එම සියලුම ඉඩම්වල කාර්ය මණ්ඩලය යොදවා ආහාර බෝග වගා කරන ලෙසත්,ඊට අවශ්‍ය කෘෂි තාක්ෂණික සහයෝගය කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් ලබා දිය හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන බහුතරයක් පාඩු ලබන තත්ත්වයට පත්ව ඇතත්, රාජ්‍ය දැව සංස්ථාව අර්බුදකාරී අවසථාවක දී පවා රුපියල් කෝටි 150ක ආදායමක් උපයා ගැනීමට එම සංස්ථාවේ නිලධාරීන් කටයුතු කිරීම සම්බන්ධයෙන් තම කෘතඥතාව පළ කරන බව ද සඳහන් කළේය.
. මෙම අවස්ථාවට වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති එම්. එස්. කරුණාරත්න මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.