ගොවි ජනතාවට ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් පොහොර සැපයූ ගාල්ල දිස්ත්‍රික්කයේ සමාගමක් වහාම අසදු ලේඛනගත කරන ලෙස කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (01) ජාතික පොහොර ලේකම් කාර්යාලයට නියෝග කරයි
මෙම සමාගම වී වගාව සඳහා ගොවීන්ට නිකුත් කර තිබු කොම්පෝස්ට් පොහොරවල සියයට 34කට වඩා තිබී ඇත්තේ වැලි බව සනාථ වී තිබේ.
මේ සම්බන්ධව ජනමාධ්‍ය විසින් ද වාර්තා කර තිබූ අතර ගොවි ජනතාව ද කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණිළි කර තිබිනි.
ඒ අනුව ඊයේ (01) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පෑවැතී පළාත් කෘෂිකර්ම සමුළුවේ දී අමාත්‍යවරයා මෙම කාරණය සම්බන්ධව ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් කරුණු විමසීමක් කළේය.
එහිදී සදහන් වූ කාරණා සැළකිල්ලට ගනිමින් එකී කොම්පෝස්ට් පොහොර සැපයූ සමාගම අසදු ලේඛන ගත කරන ලෙසත්, එම සමාගමට එරෙහිව නඩු පැවරීමටත්, දැනට එම සමාගම විසින් ගොවීන්ට කොම්පෝස්ට් පොහොර අලෙවි කර ඇත්නම් ඒ සඳහා කිසිදු මුදලක් නොගෙවන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
මෙවර මහ කන්නයේ දී කාබනික පොහොරවල ප්‍රමිතිය සහතික කිරීම සඳහා සෑම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික් ලේකම්වරයාගේ සභාපතිත්වය යටතේ කමිටු පිහිටුවනු ලැබ තිබේ. ඊට සෑම දිස්ත්‍රික්කයකම ගොවි සංවිධාන නියෝජිතයින් ද ඇතුළත් කර ඇත.
ජාතික පොහොර ලේකම් කාර්යාලය ලියාපදිංචි කර ඇති කාබනික පොහොර නිෂ්පාදන සමාගම් විසින් සෑම දිස්ත්‍රික්කයකටම සපයන කාබනික පොහොරවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම එම ලේකම් කාර්යාලය විසින් අවස්ථා තුනක දී සිදූ කරනු ලබයි.
ඊට අමතරව ගොවි ජනතාව විසින් ඉදිරිපත් කරන පැමිණිළි සළකා බැලීම හා පරීක්ෂා කිරීම දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව විසින් සිදු කරනු ලබයි.
එමෙන්ම කාබනික පොහොර මිල දී ගන්නා ගොවීන්ට සහනාධාර මුදලක් ද රජය විසින් ගෙවනු ලබයි. ඒ අනුව කාබනික පොහොර මිල දී ගන්නා ගොවියෙකුට රුපියල් 20,000ක් දක්වා මුදලක් සහනාධාර වශයෙන් රජය විසින් ලබා දීමට තීරණය කර ඇත. මේ සඳහා රජය වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 16,000ක් බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.
කෙසේ වුවද ගොවිජනතාවට සපයන කාබනික පොහොර ප්‍රමිතියෙන් බාල බවට සනාථ වුවහොත් කවර සමාගමක් වුවද අසදු ලේඛනගත කර එම සමාගම්වලට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් දී තිබේ.