Spread the love

 

නාගරික සංවර්ධන අධිකාරියට අයත් මෙතෙක් ප්‍රයෝජනයට නොගත් ඉඩම් හා ගොඩනැගිලි රාජ්‍ය හා පෞද්ගලික අංශයේ හවුල්කාරිත්වයෙන් සංවර්ධනය කරන බව නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මෙලෙස සංවර්ධනය කිරීම සදහා හදුනාගත් ඉඩම් හා ගොඩනැගිලි සංඛ්‍යාව 1008කි. රටේ පවතින ඩොලර් අර්බුදයට තවත් පිළියමක් ලෙස දෙස් විදෙස් ආයෝජකයන් සමග එක්ව මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ඇමතිවරයා සදහන් කරයි.

මේ වන විටත් මෙම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ හවුල් ව්‍යාපෘති හදුනාගෙන ඇති අතර එම ව්‍යාපෘතිවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 1950 ක් පමණ වෙතැයි ගණන් බලා තිබේ. මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන් සෘජු හා වක්‍ර රැකියා අවස්ථා 12,000 ත් 15,000 ත් අතර සංඛ්‍යාවක් උත්පාදනය කර ගැනීමට ද අපේක්ෂා කරන බව ඇමතිවරයා කියයි.

මේ වන විටත් මෙම ව්‍යාපෘතිය යටතේ කොළඹ, කුරුණෑගල හා මහනුවර නගරවල මධ්‍යම පාන්තික නිවාස ඒකක 2700 ක් ඉදිකිරිමට සැලසුම් කර ඇති අතර කොළඹ, ගම්පහ, කළුතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇති ඉඩම් අක්කර 908 ක සුලු හා මධ්‍යම ප්‍රමාණයේ බහලුම් මධ්‍යස්ථාන හා කාර්මික ජනපද ඉදිකිරීමට ද සැලසුම් කර තිබේ. ඊට අමතරව කොලඹ, මහනුවර, කුරුණෑගල නගරවල බහුමහල් මහජන රථගාල් 07 ක් ඉදිකිරිමට ද නියමිතයි. අනෙකුත් ප්‍රධාන නගර ආශ්‍රිතව ‍ඓතිහාසික වටිනාකමක් සහිත ගොඩනැගිලි සංරක්ෂණය කරමින් දෙස් විදෙස් සංචාරකයන් ආකර්ෂණය වන පරිදි සංචාරක හෝටල්, කෞතුකාගාර ප්‍රදර්ශන මධ්‍යස්ථාන ඉදිකිරිමට අපේක්ෂා කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි.

රටේ පවතින ඩොලර් අර්බුදයට පිළියමක් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය ඉදිකර ඇති මධ්‍යම පාන්තික නිවාස විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඩොලර් මගින් මිල දී ගැනීම සදහා ඉඩකඩ සලසා ඇති අතර එලෙස ඩොලර් මගින් නිවාස මිල දී ගන්නා අයට 10%ක් වට්ටමක් ලබාදීමට ද පියවර ගැණින. මෙම අධිකාරියට අයත් මෙතෙක් ප්‍රයෝජනයට නොගත් ඉඩම් හා ගොඩනැගිලි වල රාජ්‍ය හා පෞද්ගලික අංශයේ හවුල් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ද මෙරට ඩොලර් අර්බුදය විසදීමේ අරමුණින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන තවත් ප්‍රධාන ව්‍යාපෘතියක් බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.