Spread the love

අරලගංවිල වී ගබඩාවේ සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර ප්‍රාදේශීය කළමනාකාරවරයා අනිවාර්ය නිවාඩු යැවීමට වී අලෙවි මණ්ඩලයේ සභාපති කටයුතු කර ඇතැයි කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

අරලගංවිල වී ගබඩාවක 2015 දී මිලදී ගන්නා ලද වී තොගයක් සම්බන්ධව ඊයේ (05) සහ අද (06) මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරයක් ලබාදී තිබුණි.

මේ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් දුන්නේය.

ඒ අනුව අද (06) දින වී අලෙවි මණ්ඩලයට අයත් එම ගබඩාව සම්බන්ධයෙන් වාර්තාවක් වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් මහතා විසින් ලබාගන්නා ලදී.

ඒ අනුව 2020 දී පැරණි වී තොග අලෙවි කරන ලෙස දැනුම් දී තිබුණත්, අරලගංවිල ගබඩාවෙන් වී කිලෝග්‍රෑම් 4000 ක් පමණ අබලි තත්ත්වයට පත්වීම සැලකිල්ලට ගනිමින්, අද (06) දින සිට වී අලෙවි මණ්ඩලයේ අම්පාර ප්‍රාදේශීය කලමනාකාරවරයා අනිවාර්ය නිවාඩු යැවීමට වී අලෙවි මණ්ඩලයේ සභාපති කටයුතු කර ඇත.

මෙම නිලධාරියා සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සති 02 ක් තුළ අවසන් කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා අද (06) උපදෙස් දුන්නේය.