Spread the love


සංචාරක හා ගුවන් සේවා ක්ෂේත්‍ර යේ නියුතුවූවන්ට කොවිඩ් බූස්ටර් එන්නත මේ මාසය තුළ ලබාදී අවසන් කිරීමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ එවිට ශ්‍රී ලංකාව සංචාරකයන් සදහා කොවිඩ් සුරක්ෂිත රටක් බවට පවතින බවයි.
ප්‍රංශයේ පැරිස් නුවර ෂැංග්‍රිලා හෝටලයේ දි ඊයේ (09) පැවති ප්‍රංශ සංචාරක නියෝජිතායතන හා මාධ්‍ය වේදීන් අතර පැවති හමුවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය. එළඹෙන ශීත සමයේ දි ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයන් ගෙන්වා ගැනීම අරමුණු කර ගනිමිනි.
ප්‍රංශ සංචාරක නියෝජිත ආයතන හා මාධ්‍ය වේදීන් 100කට ආසන්න පිරිසක් මේ සදහා සහභාගිවුහ.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දි කියා සිටියේ මේ වන විට ශ්‍රී ලංකාව කොවිඩ් එන්නත්කරණයෙන් ඉදිරියෙන්ම සිටින බවයි. නොවැම්බර් 08 වෙනිදා වන විට මෙරට සමස්ථ ජනගහණයෙන් කොවිඩ් එන්නත් එකක් හෝ ලබාගෙන ඇති ප්‍රතිශතය 71%කි. සමස්ථ ජනගහණයෙන් 63%ක් මේ වන විට කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇතැයි ද ඇමතිවරයා මෙහි දි කීවේය.
ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර ශ්‍රි ලංකන් ගුවන් සමාගම හා ප්‍රංශ ගුවන් සේවය සෘජු ගුවන් ගමන් ආරම්භ කිරිමත් දෙරට අතර සංචාරක ව්‍යාපාරය දියුණු වීමට රුකුලක් බව පැවසු ඇමතිවරයා මෙම ගුවන් සේවා හදුන්වා දීමත් සමග ප්‍රංශ සංචාරකයන් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණීමේ ප්‍රවණාතාවයක් දක්නට ඇතැයි ද කීවේය.

ඒ අනුව එළඹෙන ශීත සමයේ දි ප්‍රංශ සංචාරකයන් වැඩිවශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සදහා සංචාරක සංවර්ධන අධිකාරිය හා ප්‍රංශ ගුවන් සේවය අතර ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට අපෙක්ෂා කෙරේ.
ප්‍රංශය ගුවන් සේවය පසුගිය 05 වෙනිදා සිට ශ්‍රී ලංකාවට හා ප්‍රංශය අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කළ අතර සතියකට ගුවන් ගමන් වාර 03 ක් ක්‍රියාත්මක කරයි. ඒ අගහරුවාදා, සිකුරාදා හා ඉරිදායි. ඉදිරියේ දි එළඹෙන ගිම්හාන සෘතුවේ දි මෙම සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට ප්‍රංශ ගුවන් සේවය සමග සාකච්ඡා කරමින් සිටන බව ඇමතිවරයා කීවේය.
පසුගිය ඔක්තෝම්බර් 30 වෙනිදා ශ්‍රී ලංකන් ගුවන් සමාගම ද වසර 06කට පසු ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කළේය. ඔවුන් ද සතියකට ගුවන් ගමන් වාර 03 ක් සිදු කරනු ලබයි. ඒ බදාදා, සිකුරාදා හා ඉරිදාය. ඉදිරයේ දී ශ්‍රී ලංකන් ගුවන් සේවය ද ප්‍රංශය හා ශ්‍රි ලංකාව අතර සිදු කරන සෘජු ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරිම කෙරෙහි අවධානය යොමුව ඇතැයි ඇමතිවරයා මෙහි දි කීවේය.

මෙම අවස්ථාවට සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජි. ඒ. චන්ද්‍රසිරි, ප්‍රංශ ශ්‍රි ලංකා තානාපති ක්ෂණිකා හිරඹුරේගම වන මහත්ම මහත්මීහු සහභාගී වූහ.