Spread the love


අප රටේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මෙන්ම අවශ්‍ය වන වැලි, පස්, බොරළු හා කළුගල් ප්‍රවාහණය සඳහා අවශ්‍ය බලපත් ලබා දීම සඳහා මාර්ගගත වැඩ පිළිවෙළක්
ආරම්භ කිරීම භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පියවර ගෙන ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

සේවාවන් ලබා ගැනීම සඳහා රජයේ කාර්යාල වෙත පැමිණෙන ජනතාව අවම කරමින් ඔවුන්ට පහසුවෙන් සේවාවන් ලබා ගැනීම සඳහා නව තාක්ෂණික ක්‍රම ඔස්සේ පියවර ගන්නැයි ජනාධිපතිතුමන් ලබා දී ඇති උපදෙස් පරිදි මෙම පියවර ගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය.
දැනට දිනකට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට අයත් ප්‍රදේශීය කාර්යාලවලට දිනපතා ප්‍රවාහණ බලපත් ලබා ගැනීමට 1000-2000ත් අතර පිරිසක් පැමිණෙති. එමෙන්ම වසරකට නිකුත් කෙරෙන ප්‍රවාහණ බලපත් ප්‍රමාණය ලක්ෂ 10ඉක්මවයි. වාර්ෂිකව ප්‍රවාහණ බලපත් අලුත් කළ යුතු බැවින් දිනපතා මෙම කාරණය
සම්බන්ධව දැඩි තදබදයක් පවතී.
එමෙන්ම මෙම වසරේ ගත වු කාලය තුළ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් නිකුත් කර ඇති ප්‍රවාහණ බලපත් ප්‍රමාණය 777,000කි.
ප්‍රවාහණ බලපත් නිකුත් කිරීමේ දී සිදුවන අක්‍රමිකතා වැළැක්වීමත් මෙම වැඩ සටහනේ එක් අරමුණක් යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ප්‍රවාහණ බලපත් නිකුත් කිරීම ප්‍රමාද වුවහොත් රජයේ සංවර්ධන ව්‍යාපෘතිවලට අවශ්‍ය ඛනිජ ද්‍රව්‍ය මෙන්ම මහජනතාව විසින් සිදු කරන ඉදි කිරීම්වලට ද බලපෑමක්
එල්ලවිය හැකිය. එමනිසා මෙම මාර්ගගත බලපත් නිකුත් කිරීමේ වැඩ පිළිවෙළ ආරම්භ කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙහි දී අදහස් පළ කළ මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සජ්ජන ද සිල්වා මහතා ප්‍රවාහණ බලපත් මාර්ග ගත ක්‍රමයට නිකුත් කිරීමේ වැඩ පිළිවෙළ මෙම මස 30 වන දින සිට දියත් කරන බව ප්‍රකාශ කළේය.