Spread the love



කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය සේවා තවදුරටත් පුළුල් කරමින් අම්බලන්ගොඩ සහ කුරුණෑගල නව කම්කරු කාර්යාල දෙක පසුගියදා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.


රුපියල් මිලියන (85) අසූ පහක වියදමින් ඉදිකළ අම්බලන්ගොඩ කම්කරු කාර්යාලය මහල් හතරකින් සමන්විත වේ .මහල් පහකින් සමන්විත කුරුණෑගල කම්කරු කාර්යාලයට වැය කළ මුදල රුපියල් මිලියන එකසිය අසූ පහකි (185).දීර්ඝ කාලයක් කුලී පදනම මත සහ අවම ඉඩ පහසුකම් සහිතව ක්‍රියාත්මක වූ මෙම කම්කරු කාර්යාලවල සේවා අපහසුතා සහ සේවාලාභීන් මුහුණ දුන් අපහසුතා මේ තුළින් අවසන් වන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

විශේෂයෙන් සේවක අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්තියන්ගේ භාර අරමුදලේ ප්‍රතිලාභ ලබා ගැනීම,කම්කරු පැමිණිලි විභාග කිරීම, කම්කරු වන්දි ගෙවීම් ,මේ තුළින් කාර්යක්ෂම වනු ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.එසේම පසුගිය කාලයේ කොරෝනා වසංගතය නිසා කම්කරු කාර්යාලවල කටයුතු යම් පමණකට අඩපණ වූ නිසා එම ප්‍රමාද වූ කටයුතු කඩිනමින් සිදු කිරීම සඳහා ඉදිරියේදී දිස්ත්‍රික් මට්ටමින් ජංගම කාර්යාල සේවාවක් පැවැත්වීමට ද කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.


එසේම කම්කරුවන්ගේ ප්‍රශ්න සඳහා සාධාරණ විසඳුමක් ලබාදිය යුතු මෙන්ම මේ රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා නිෂ්පාදන ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමට හෝ අඩපණ කිරීමට කටයුතු නොකිරීමත් කම්කරු ප්‍රජාව ගේ වගකීමක් බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.