Spread the love

ජනතාවගේ ඉල්ලීම මත බැසිල් රාජපක්ෂ මහතා සය මාසයක කාලයක් සඳහා හෝ මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත්වී සිටින ලෙසට ආයාචනා කරන බව අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසති.

අද (14) පැවති මාධ්‍ය හමුවක දී උන්වහන්සේ ප්‍රකාශ කළේ ජනතාව පීඩාවට පත්වීමට බැසිල් රාජපක්ෂ මහතා මුල්වූ බවට ජනතාව තුළ මතයක් පවතින බවය.

මිනිස්සු අද කියන්නේ මොකක්ද, මේ ආණ්ඩුව ගෙන්න උදව් කරපු එවුන්ටත් ගහපිය හෙණ. ආණ්ඩුවේ ඉන්න එවුන්ටත් ගහපිය හෙණ. මේකේ කොහේහරි තියනවා යම් කිසි සාපයක්. ආණ්ඩුව ගෙදර යවන්ඩ ඕනේ කියලා ගොඩක් අය කියන්නේ. ඒකට හේතුව මේ ආණ්ඩුවෙන් වැඩ හරියට නොකෙරෙන නිසයි. අපි නිරන්තරයෙන්ම අඩුපාඩු පෙන්නන්නේ ආණ්ඩුව හදාගන්න. නමුත් දැන් සීමාව ඉක්මවා ගිහින් ඉවරයි.

ඒ නිසා ජනතාවට කියනවා 69 ලක්ෂයම එකතු වෙන්න මහා සංඝරත්නයත් සමඟ. අපි ලැස්ති ආණ්ඩුව හදන්න හෝ ආණ්ඩුව ගෙදර යවන්න. අද මට අකමැත්තෙන් හරි කියන්න සිද්ධ වෙලා තියෙනවා බොහෝමදෙනෙක් කියන්නේ බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා වුණාට පස්සේ තියෙන දෙත් නැතිවුණා කියලා. බැසිල් මහත්තයෝ මේ චෝදනාවලින් නිදහස් වෙන්න පුලුවන්කමක් තියෙනවා නම් 6 මාසයක්වත් ඈත්වෙලා ඉන්න.”