
බංගාබන්දු අන්තර්ජාතික ත්‍රෝබෝල් කුසළානය දිනාගත් වයස අවුරුදු 20 න් පහළ බාලක කණ්ඩායමේ සහ එම තරගාවලිය සදහා සහභාගී වූ බාලිකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් AI 273 දරණ ගුවන් යානයෙන් 2023.03.21 දින පෙ.ව. 2.00 ට කටුනායක ගුවන්තොටුපොලෙන් දිවයිනට පැමිණීමට නියමිතය.
බංග්ලාදේශ ත්‍රෝබෝල් සංගමය සංවිධානය කළ බංගාබන්දු කුසලාන අන්තර්ජාතික ත්‍රෝබෝල් තරගාවලිය 2023 මාර්තු මස 15,16 බංග්ලාදේශයේ ඩකා අගනුවර ශෙයික් රුසෙල් ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත් වූවා. ඒ සඳහා ඉන්දියාව, බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව සහභාගි වූවා. එහිදී බාලක ශූරතා කුසලානය බංග්ලාදේශ ජාතික කණ්ඩායම පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 20 න් පහළ පාසල් කණ්ඩායම දිනා ගනු ලැබුවා.
මෙහිදී ලද සුවිශේෂී ජයග්‍රහණය වූයේ ප්‍රබල ඉන්දියානු කණ්ඩායම මූලික වටයේදීම පරාජයට පත්කිරීමට ශ්‍රී ලංකා පාසැල් ක්‍රීඩකයන් සමත් වීමයි. තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය එරාවුර් මාකන් මාකර් ජාතික පාසලේ ඒ. ආර්. එම්. අම්මාර් දිනාගනු ලැබුවා.
බාලිකා අංශය මූලික වටයේ පැවති තරඟයේ දීම බංගලදේශය ජාතික කණ්ඩායම් පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩිකාවන් සමත් විය. නමුත් ඔවුන් ඉන්දීය කණ්ඩායම හමුවේ පරාජයට පත් වූවා. මූලික වටයේ දී බංග්ලාදේශ ඉන්දියා තරගයෙන් ජයග්‍රහණය බංග්ලාදේශය ලබා ගන්නා ලදි.
එහෙත් කණ්ඩායම් තුනම එක් ජයග්‍රහණය බැගින් ලබාගෙන තිබූ බැවින් අවසන් තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක තේරීම සඳහා මූලික වටයේදී තරගවල කණ්ඩායම් ලබාගත් ලකුණු එකතුව බැලීමට සිදු විය. ඒ අනුව බංග්ලාදේශ ඉන්දියානු කණ්ඩායම් ඒ සඳහා සුදුසුකම් ලැබුවා. අවසන් තරගයේ දී ඉන්දියානු කණ්ඩායම පරාජයට පත්කළ බංග්ලාදේශ කණ්ඩායම බාලිකා ශූරතාවය දිනා ගනු ලැබුවා.