නිමල් රාජපක්ෂ-
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර නිරන්තර අවබෝධය ගැනීම මගින් ඇති කර ගත් එකඟතා වඩාත් සාර්ථක කර ගත හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම වර්තමානයේ සිදු කරන ශ්‍රී ලංකා සංචාරය ඊට කදිම අවස්ථාවක් බවයි.
දෙසැම්බර් මාසයේ පැවැත්වෙන ප්‍රගති සමාලෝචනයට පෙර ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් වන කැපවීම ඔවුන්ගේ නිරීක්ෂණයට ලක් වන බව අමාත්‍යවරයා සඳහන් කරයි.
මේ අතර අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන යෝජනාව මගින් ණය සීමාව ඉහළ යාමක් සිදු නොවන බව අමාත්‍යවරයා පවසයි. එමගින් සිදු වන්නේ දැනට රුපියල් බිලියන 5000 සීමාවේ පවතින රජයට භාණ්ඩාගාර බිල්පත් මගින් ලබා ගත හැකි ණය සීමාව රුපියල් 6000 දක්වා ඉහළ දැමීම පමණක් බවයි .
පොලී අනුපාතය ඉහළ මට්ටමක පවතින තත්ත්වයක් යටතේ රජයට දේශීය වශයෙන් කෙටි කාලීනව ණය ලබා ගත හැකි ක්‍රමය වන භාණ්ඩාගාර බිල්පත්වලින් ණය ලබා ගැනීමේ සීමා ඉහළ දැමීම වාසිදායක බව හෙතෙම පෙන්වා දෙයි.
