Spread the love


ශ්‍රී ලංකාව තුළ නිපදවනු ලබන හා ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන මත්පැන් හා මද්‍යසාර ස්ප්‍රීතු සඳහා වන නව ශ්‍රී ලංකා ප්‍රමිතීන් ප්‍රකාශයට පත් කර ඇත..

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාව මගින් දෙන ලද උපදෙස් සහා සමගාමීව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, කාර්මික තාක්ෂණ ආයතනය යන ආයතනවල මෙන්ම දේශීය මත්පැන් කර්මාන්තය නියෝජනය කරන නියෝජිතයන්ගේ පුළුල් සහභාගීත්වය ඇතිව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් මෙම නව ශ්‍රී ලංකා ප්‍රමිතීන් ප්‍රකාශයට පත් කර ඇතැයි සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි..

මෙම නව ප්‍රමිතීන් යටතේ බීර, විස්කි, බ්‍රැන්ඩි, ජින්, රම්, වොඩ්කා, ලිකියර්ස්, ටෙකිලා, අරක්කු වර්ග සහ අනුකාරක විදේශ මත්පැන් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතීන් ප්‍රකාශයට පත් කර ඇත. ඉදිරියේදී පැසවීම මගින් නිපදවා ගන්නා රා, සකේ, සහ තවත් මත්පැන් වර්ග සම්බන්ධයෙන් ද නව ශ්‍රී ලංකා ප්‍රමිතීන් හඳුන්වා දීමට කටයුතු කරගෙන යනු ලැබේ.

ප්‍රකාශයට පත් කර ඇති නව ශ්‍රී ලංකා ප්‍රමිතීන් මෙසේය:-

Rum SLS 1687 Part 1:2020 UDC 663.55

Whiskey/ Whisky SLS 1687 Part 2:2020 UDC 663.55

Brandy SLS 1687 Part 3:2020 UDC 663.55

Vodka SLS 1687 Part 4:2020 UDC 663.55

Gin SLS 1687 Part 5:2020 UDC 663.55

Tequila SLS 1687 Part 6:2020 UDC 663.55

Arrack SLS 919:2020 UDC 663.551.5:634.61

Emulated Foreign Liquor SLS 1687 Part 7:2020 UDC 663.55

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙතින් ලබා ගත හැකි මෙම නව ශ්‍රී ලංකා ප්‍රමිතීන් වහාම ක්‍රියාත්මක වන පරිදි බලාත්මක විය යුතු බවටත්, මින් ඉදිරියට මත්පැන් හා මද්‍යසාර ස්ප්‍රීතු නිපදවීම එම ප්‍රමිතීන්ට අනුකූලව සිදු කල යුතු බවටත් ශ්‍රී ලංකාව තුල මත්පැන් හා මද්‍යසාර ස්ප්‍රීතු නිපදවීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් සියලුම නිෂ්පාදකයන් වෙත සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර තිබේ.

මේ අනුව එම ශ්‍රී ලංකා ප්‍රමිතීන් වලට අනුකූල නොවන කිසිදු මත්පැනක් හෝ කිසිදු මද්‍යසාර ස්ප්‍රීතු වර්ගයක් මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ සුරාබදු බලපත්‍ර ලත් මත්පැන් නිෂ්පාදනාගාර වලින් පිටතට නිකුත් කිරීමට අවසර නොලැබේ.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සුරාබදු බලපත්‍ර ලත් මත්පැන් නිෂ්පාදනාගාරවල සුරාබදු ඒකකයක් බැගින් පිහිටුවා ඇති අතර ඒවාට ස්ථිර සුරාබදු කාර්ය මණ්න්ඩලයක් බැගින් අනුයුක්ත කොට තිබේ. එම සුරාබදු නිලධාරීන් විසින් එම නිෂ්පදනාගාරවල නිපදවනු ලබන මත්පැන් හෝ මද්‍යසාර ස්ප්‍රීතු වලින් නිදර්ශක ලබාගෙන රජයේ රස පරීක්ෂක වෙත යොමු කොට ලබාගන්නා විශ්ලේෂණ වාර්තාවක් මගින් එම මත්පැන් හෝ මද්‍යසාර ස්ප්‍රීතුවල ප්‍රමිතිය සම්බන්ධයෙන් සෑහීමට පත්වීමෙන් පසුව පමණක් ඒවා එම නිෂ්පාදනාගාර වලින් පිටතට නිකුත් කිරීමට අවසර දිය යුතුවේ.

ශ්‍රී ලංකාව තුල නීත්‍යානුකූල මත්පැන් සැපයුම් දාමය නියාමනය කිරීමේ බලධාරී ආයතනය වශයෙන් ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව මෙරට නිපදවනු ලබන හා මෙරටට ආනයනය කරනු ලබන සියලුම මත්පැන් වර්ගවල ගුනාත්මක භාවය ආරක්ෂා කිරීමේ අරමුණින් ඒවා මත ආරක්‍ෂිත ස්ටිකර් හා ඩිජිටල් මුද්‍රණ වලින් සමන්විත ආරක්‍ෂිත සලකුණු යෙදීම ආරම්භ කරන ලද අතර, ඊට අමතරව මෙම නව ශ්‍රී ලංකා ප්‍රමිතීන් පවත්වා ගැනීම මගින් ඒවායේ ගුණාත්මක භාවය තව දුරටත් ඉහල නංවා ගත හැකි බවද කපිල කුමාරසිංහ මහතා පවසයි.