Spread the love

රටේ පවතින මන්දපෝෂණ තත්ත්වය තුරන් කරලීමට නම් සියලුදෙනාගේම කැපවීම මත එළඹෙන මහ කන්නය සාර්ථක කරගත යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇතැයි කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

සීගිරිය ඉනාමළුව වන සංරක්ෂණ පුහුණු ආයතනය අද (09) දින පෙරවරුවේ කෘෂිකර්ම,වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් විවෘත වු අවස්ථාවේ මෙම අදහස් පළ කලේය
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිලධාරීන් පුහුණු කිරීම සඳහා ආරම්භ කර තිබෙන මෙම පුහුණු ආයතනය තුළ සිසුන් විශාල පිරිසක් දැනටමත් වන සංරක්ෂණය පිළිබඳව හදාරමින් සිටිති. ඔවුන්ට අධ්‍යයන හා පුහුණු කටයුතු සඳහා ලබාදෙන පහසුකම් වැඩි කරමින් අද (09) දින මෙම පුහුණු කිරීමේ ගොඩනැගිල්ල ස්ථාපිත කර තිබිණි.
මෙම අවස්ථාවට වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
මෙහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා ,ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය මෙන්ම වනජීවී සංරක්ෂණය හා වන සම්පත් සංරක්ෂණය එකිනෙකට සමානුපාතීව ක්‍රියාත්මක කිරීම අපහසු කාර්යයක්. අපේ රට මේ වන විට දැඩි ආහාර ලබා ගැනීමේ දුෂ්කරතාවයකට මුහණ පා සිටිනවා. රට තුළ ක්‍රම ක්‍රමයෙන් මන්දපෝෂණය හිස ඔසවමින් තිබෙනවා. මෙම තත්ත්වයෙන් ගැලවීමට නම්, කළයුතු එකම දෙය රට පුරා ඇති සියලුම ඉඩම් ඵලදායීව වගා කිරීමයි. නමුත් අපේ රටේ වගා කරන බෝගවලින් වාර්ෂිකව 40%ක් පමණ වන සතුන් විසින් විනාශ කරනවා.
රට තුළ පවතින ආහාර හිඟයට මෙම තත්ත්වය තදින්ම බලපානවා. එම නිසා මෙම වසර අවසාන වනවිට වන සතුන්ගෙන් වගාවට සිදුවන හානිය නතර කිරීම සඳහා ස්ථීර විසඳුමක් අනිවාර්යයෙන්ම ලබාදිය යුතුමයි. වගා හානි සිදු කරන සතුන් අතරින් වනඅලීන් සංරක්ෂිත සත්ව ලැයිස්තුවෙන් ඉවත් කරන්නේ නැහැ. අපි අලියා රැකගත යුතුයි. විදේශ සංචාරකයින් විශාල වශයෙන් ලංකාවට පැමිණෙන්නේ අපේ රටේ වනඅලි සම්පත නැරඹීම සඳහායි. ඒ නිසා වනඅලීන් ආරක්ෂා කිරීම අපේ මූලික වගකීමක්.