ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නොවැම්බර් මාසයට අදාළව ණය අයකර ගැනීම හා දේපළ බැහැර කිරීමෙන් රුපියල් මිලියන 303ක ආදායමක් උපයා ගත් බව එහි සභාපති රජීව් සූරියආරච්චි මහතා පවසයි.
ඔහු සඳහන් කරන්නේ රටතුළ පැවැති අරගලකාරී තත්ත්වය හා ආර්ථික අර්බුධය හේතුවෙන් පසුගිය මාර්තු මාසයෙන් පසුව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ණය අයකර ගැනීම බොහෝ සෙයින් පහත වැටී තිබූ බවයි.
ඒ අනුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් මත ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සියළුම දිස්ත්‍රික් කළමණාකරුවන් මහනුවරට කැඳවා මසකට රුපියල් මිලියන 300ක ණය මුදලක් එකතු කර ගැනීමේ ඉලක්කය ලබාදී ඒ සඳහා නව සැලැස්මක් හඳුන්වාදුන් බවත් සභාපතිවරයා සඳහන් කළේය.
එම වැඩමුළුවෙන් පසුව ණය අයකර ගැනීම ක්‍රමයෙන් වර්ධනය කර ගැනීමට හැකියාව ලැබුණු බවද කීය. රට මුහුණදී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ආදායම මෙලෙස වර්ධනය වීම ඉතා විශාල ජයග්‍රහණයක් බවද හෙතෙම පැවසීය.
මෙම මාසයේදීත් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය රුපියල් මිලියන 300 ඉක්මවූ ආදායමක් අපේක්ෂා කරන බව කී සභාපතිවරයා ලබන වසරේදීත් ආදාම් තත්ත්වය මෙලෙසින්ම පවත්වා ගැනීමට අවශ්‍ය සැලසුම් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය දැනටමත් සකස් කොට අවසන් බවද කීය.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියට සේවක වැටුප් හා අනෙකුත් වියදම් සඳහා රුපියල් මිලියන 150කට ආසන්න මුදලක් වැයවේ. එහෙත් දැනට ලැබෙන ආදායම අනුව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මහා භාණ්ඩාගාරයට බරක් නොවී පවත්වා ගෙන යෑමට හැකියාව පවතින බවද සභාපතිවරයා සඳහන් කරයි.
එමෙන්ම මෙවර අයවැයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 3750ක මුදලක් වෙන්ව ඇති බවත් එම මුදලින් රුපියල් මිලියන 2750කට ආසන්න මුදලක් මේ වනවිට අතරමඟ නතරව ඇති ව්‍යාපෘති අවසන් කිරීමට වෙන් කිරීමට සිදුවන බවද හෙතෙම කීය.
එමෙන්ම අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ඉදිරියේදී ඩොලර් වලට නිවාස අළවිකිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර ඇති බවද සභාපතිවරයා වැඩිදුරත් සඳහන් කළේය.