Spread the love

යල කන්නයේ වී වගාව අවසන් කළ අම්පාර, මඩකලපුව, මුලතිව්, යාපනය, අනුරාධපුර, හා මොණරාගලට මහ කන්නය සඳහා අවශ්‍ය යුරියා පොහොර කඩිනමින් යැවීමට පියවර ගන්නා ලෙස අමාත්‍යාංශයේ නිලධාරින්ට කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දෙයි.

එකී දිස්ත්‍රික්කවල මහ කන්නය සඳහා වී වගා කටයුතු බොහෝවිට ඔක්තෝබර් මස මුල් සති දෙක තුළ ආරම්භ කිරීමට නියමිතය. එමනිසා ගොවි ජනතාවට වගාව සඳහා අවශ්‍ය පොහොර ඒ වනවිටත් ගොවිජන මධ්‍යස්ථානවලට ලබා දීම මගින් ඔවුන්ට පහසුවෙන් යුරියා පොහොර මිල දී ගැනීමට අවස්ථාව සැලසීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ අරමුණ වේ.

මහ කන්නයේ යුරියා පොහොර ලබා දීමේ දී යල කන්නයේ මෙන් රුපියල් 10,000ක මුදලකට ලබා දීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කළ ඉල්ලීම පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහ කන්නයේ දී ද රුපියල් 10,000ක මුදලකට කිලෝග්‍රෑම් 50ක බරින් යුත් පොහොර මිටියක් ලබා දීමට කටයුතු යොදා තිබේ.

එමෙන්ම තේ ,බඩඉරිගු වගාවන් සඳහා කිගෝග්‍රෑම් 50ක බරින් යුත් යුරියා පොහොර මිටියක් රුපියල් 15,000ක මුදලකට ලබා දීමට නියමිතය.

යුරියා පොහොරවලට අමතරව මියුරේට් ඔෆ් පොටෑස් හෙවත් බණ්ඩි පොහොර ද මෙවර වී වගාව සඳහා ලබා දීමට මේ වනවිටත් සියලු කටයුතු යොදා අවසන් බව කාෂිකර්ම අමාත්‍යවරයා අවධාරණය කර සිටී.

.