Spread the love

සතියත් තුළ දිවයින පුරා සිදු කළ වැටලීම් වලදී රුපියල් මිලියන පහක් (05)වටිනා මත්පැන් හා මත් ද්‍රව්‍ය තොගයක් සමගින් සැකකරුවන් 516 දෙනෙකු අත්අඩංගුවට ගත් බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.

මෙම වැටලීම් සිදු කොට ඇත්තේ මේ මස 01 වනදා සිට 08 වනදා දක්වාවු කාලය තුළදීය .

සුරාබදු පනත උල්ලංඝණය කළ පුද්ගලයින් 391 දෙනෙකු සහ අන්තරායකර ඖෂධ පිළිබඳ ආඥාපනත උල්ලංඝණය කළ පුද්ගලයින් 73 දෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

දුම්කොළ බදු පනත හා දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 52 දෙනෙකු කොටු කර ගැනීමට සුරාබදු නිලධාරීන් සමත්වී ඇත.

සුරාබදු බලපත්‍ර කොන්දේසි කඩකිරීම සම්බන්ධයෙන් සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන 87කට එරෙහිව උපරිම දඬුවම් ලබාදීමට කටයුතු කරන බව ද කපිල කුමාරිසිංහ මහතා වැඩි දුරටත් පැවසුවේය.

මීට අමතරව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් 2021 නොවැම්බර් හා දෙසැම්බර් යන කාල සීමාව විශේෂ සමූහ ග්‍රහණ කාලසීමාවක් ලෙස නම් කර ඇති අතර එම කාලසීමාව තුළදී දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි ඒ ඒ පලාත් භාර සහකාර සුරාබදු කොමසාරිස්වරුන් යටතේ එක් එක් පලාත්වලට අනුයුක්ත සියලුම සුරාබදු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් විශාල ප්‍රමාණයේ සමූහ වැටලීම් හා ග්‍රහණ සිදු කිරීමට නියෝග කර ඇතැයිද කපිල කුමාරසිංහ මහතා පවසයි..