Spread the love



ලබන වසරේ පළමු කාර්තුව තුළ රුපියල් මිලියන 500ක ව්‍යාපෘති සුරකිමු ගංගා ව්‍යාපෘතිය යටතේ අවසන් කිරීමට කටයුතු කළ යුතු යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
සුරකිමු ගංගා වැඩ සටහන යටතේ ලබන වසරේ දී ක්‍රියාත්මක කළ යුතු ව්‍යාපෘති හදුනාගැනීම පිළිබඳ සාකච්ඡාවක් පසුගිය සතියේ පරිසර අමාත්‍යාංශයේ දී පැවැත්විනි.
එහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා සුරකිමු ගංගා වැඩ සටහන සඳහා ඉදිරි වසරට රුපියල් මිලියන 2000ක මුදලක් රජය මගින් වෙන් කර ඇති බව සඳහන් කළේය.
අපේ රටේ ගංගා පද්ධතිය සංරක්ෂණය කිරීම රජයේ ඉළක්කයයි. ඒ නිසා මෙම මුදල් උපරිම වශයෙන් යොදා ගනිමින් ගංගා පද්ධතිය සංරක්ෂණය කිරීම සඳහා නව ව්‍යාපෘති යෝජනා කරන්නැයි ද අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.
මෙවර අයවැය මගින් අමාත්‍යාංශ සඳහා විශාල වශයෙන් මුදල් වෙන් කිරීමට රජය කටයුතු යොදා තිබේ.අමාත්‍යාංශ වෙත වෙන් කර ඇති මුදල් කාර්තු හතරකට බෙදා එක් එක් කාර්තුව තුළ වියදම් කිරීමට නියමිත මුදල් වැය කළ යුතු ව ඇත.
ඊළඟ කාර්තුවට නියමිත මුදල අමාත්‍යාංශයට ලැබෙන්නේ මුල් කාර්තුවේ මුදල් සම්පූර්ණයෙන්ම වැය කළොත් පමණකි. එමනිසා අදාල කාර්තුවට වෙන් කරන ලදි.මුදල් අනිවාර්යයෙන්ම ඒ ඒ ව්‍යාපෘති සඳහා වැය කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
සුරකිමු ගංගා වැඩ සටහනට රුපියල් මිලියන 2000ක් ලබා දෙන ලෙස මවිසින් කරන ලද ඉල්ලීම අනුව මුදල් අමාත්‍යතුමා අවශ්‍ය මුදල් ලබා දී තිබෙනවා. එමනිසා 2022 වසරේ පළමු කාර්තුව තුළ අපි අනිවාර්යයෙන්ම රුපියල් මිලියන 500ක් වැය කළ යුතුයි.
ඒක පහසු කාර්යයක් නොවෙයි. එම නිසා සියලු නිලධාරින්ට පැය විසිහතර පුරාම තමන්ට පැවරී ඇති රාජකාරි නොපමාව ඉටු කළ යුතුව තිබෙනවා.කොවිඩ් 19 වසංගත තත්ත්වය වැඩ නොකර සිටීමට නිදහසට කාරණයක් නොවෙයි.