Spread the love


විදේශීය හා ලාංකික පෞද්ගලික අංශයේ ආයෝජනයක් ලෙස යාපනය මන්කුම්බාන් ප්‍රදේශයේ ඉදිකර ඇති බෝට්ටු නිෂ්පාදනාගාරය මගින්තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලැබෙන බවත් ඒ තුළින් ජනතාවට යහපත් ආර්ථිකයක් ගොඩනඟා ගැනීමට හැකි වන බවත් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
ඇමතිවරයා මෙම අදහස් පළකලේ යාපනය මන්කුම්බාන් ප්‍රදේශයේ ඉදිකර ඇති බෝට්ටු නිෂ්පාදනාගාරය හා පුහුණු මධ්‍යස්ථානය ඊයේ (06)විවෘත කළ අවස්ථාවේදීය.

මෙහිදී අදහස් දැක්වූ ඩග්ලස් දේවානන්දා මහතා පවසා සිටියේ 2009 වසරේ යුද්ධය අවසන් වීමත් සමඟ උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම සඳහා මෙවැනි කර්මාන්ත ශාලා ඉදිකිරීමට රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශය ද කටයුතු කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම කර්මාන්තශාලාව විවෘත කිරීමට ලැබීම පිළිබඳව තමන් සතුටු වන බවය.
විශේෂයෙන් මෙම කර්මාන්ත ශාලාව ආශ්‍රිතව සිදු වූ පුහුණු මධ්‍යස්ථානය මගින් ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ රැකියා ගැටලුව විසඳීමට ද හැකි වීම ද මෙරට ආර්ථිකයට සිදු කරන විශාල ආයෝජනයක් ලෙසද තමන් විශ්වාස කරන බවද පැවසුවේය.
මෙහිදී මෙම කර්මාන්ත ශාලාවෙන් පුහුණුව ලැබූ තරුණ තරුණියන් පිරිසකට සහතික පිරිනැමීම ද සිදු විය.