Spread the love

රට තුළ පවතින ඉන්ධන අර්බුධය හමුවේ කාර්යාල සේවකයන්ගේ ප්‍රවාහන පහස්කම් සදහා ප්‍රමාණවත් බස් ධාවනය නොවීම නිසා සිදුවන අපහසුතා වලක්වාලමින් කිලිනොච්චි හා යාපනය අතර නව දුම්රිය ගම්න් වාර එළැඹෙන සතියේ සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

දිනකට දහස් ගණන් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන් යාපනයේ සිට කිලිනොච්චියට පැමිණෙන අතර ඔවුන්ගේ ගමන් පහසුව සදහා මෙම දුම්රිය සේවාව ආරම්භ කිරීම පිළිබද අමාත්‍යවරයා ප්‍රවාහන අමාත්‍යාංශයෙන් කරන ලද ඉල්ලීමකට අනුව එහි නිලධාරීන් පිරිසක් කිලිනොච්චියට පැමිණ මේ පිළිබද කරුණු සොයා බැලීමෙන් අනතුරුව එළැඹෙන සතියේ සිට දුම්රිය ප්‍රවාහන කටයුතු ආරම්භ කිරීමට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා උපදෙස් දී ඇති බව නිළධාරීන් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාට දන්වන ලදි.


ප්‍රවාහන අමාත්‍යාංශයේ නිළධාරීන් හා දුම්රිය සාමාන්‍යාධිකාරි ඒ.ඩී.පී. සෙනෙවිරත්න මහතා යාපනයේ දුම්රිය ස්ථානාධිපති ප්‍රදීපන්, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ දුම්රිය ස්ථානාධිපති ශ්‍රී මෝහන් ධීවර අමාත්‍යවරයාගේ අතිරේක සම්බන්ධීකරණ ලේකම් කොටිස්වරන් රුෂාන්කන් යන අය නව දුම්රිය සේවාව ආරම්භ කිරීමට අවශ්‍ය කරුණු පිළිබද සාකච්ඡා කලහ.


පසුව උතුරු පළාතේ දුම්රිය සේවා අධ්‍යක්ෂ විසුමිදර හා කිලිනොච්චි දුම්රිය ස්ථානාධිපති සිගාමනි, දිස්ත්‍රික් ලේකම් රූපවතී කේතීස්වරම් මහත්මිය ඇතුළු කණ්ඩායම සමග විශේෂ සාකච්ඡාවක් කොට දුම්රිය සේවාව ආරම්භ කිරීමට අදාල කරුණු කෙරෙහි දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදි.


මෙම සාකච්ඡාවේදී අදහස් දැක්වු දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියේ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ඉල්ලීමට අනුව එළැඹෙන සතිය තුළ මෙම දුම්රිය සේවාව ආරම්භ කිරීමට පියවර ගන්නා බවත් ආරම්භ කරන දිනය නුදුරේදීම ප්‍රකාශයට පත් කරන බවත්ය.