Spread the love


හඳුනා නොගත් රිය අනතුරු හේතුවෙන් ලබාදෙන වන්දි මුදල රුපියල් ලක්ෂ දෙකේ සිට රුපියල් දෙලක්ෂ පනස්දහසක් දක්වාත් ,බරපතල තුවාල ලබන වින්දිතයින්ට රුපියල් ලක්ෂයේ සිට රුපියල් එක් ලක්ෂ පනස් දහස දක්වාත් වැඩි කිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පියවර ගෙන ඇත..
ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ලබාදුන් උපදෙස් මත මෙම නව වන්දි ක්‍රමය 2022 වසරේ සිට ක්‍රියාත්මක වන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.


අපරික්ෂාකාරි රිය ධාවනය -මත්පැන් ,මත්ද්‍රව්‍ය පානය කර රිය ධාවනය , ජංගම දුරකථන භාවිතය, අනාරක්ෂිත ලෙස මාර්ගයේ ගමන් කිරිම, ප්‍රමිතියකින් නොමැති හිස් ආවරණ පැලඳීම,ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු බහුල වීමට හේතුවී ඇත.
මාරක රිය අනතුරු වලට වගකිවයුතු වාහන අතර 42%ක් යතුරුපැදි වන අතර, 12% ක්,ලොරි සහ ටිපර් රථ වේ, එමෙන්ම දිනකදී මියයන පුද්ගලයින්ගෙන් 40% ක් යතුරුපැදි කරුවන් වන අතර 30% ක් පදිකයන් හා 9%ක් පාපැදි කරුවන් බව දත්ත වලින් හෙලිවී ඇත,
මේ අතර අනතුරු වලින් 47%ක් සවස 6ත් රාත්‍රී 10ත් අතර කාලය තුළ සිදුව ඇත.
මෙම කරුණු හෙලිවූයේ මාර්ග අනතුරු වලට ලක්වූ වින්දිතයන් සිහිකිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව මාර්ග ආරක්ෂාව පිලිබඳ ජාතික සභාව විසින් සංවිධානය කරන ලද සැමරුම් උත්සවයකදීය.


ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් 01දා මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී පැවති මෙම සැමරුම් උත්සවයේදී මාර්ග ආරක්ෂාව, රිය අනතුරු අවම කරගැනීම හා පදිකයන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් කටයුතු කල ක්‍රියාකාරී පුද්ගලයින්ට සමරු සහ මුල්‍ය සහන ලබාදීම සිදුකරන ලද අතර ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු 50% කින් අඩු කිරිම සඳහා මාර්ග ආරක්ෂාව පිලිබඳව ජාතික සභාව විසින් සකසන ලද ක්‍රියාකාරී සැලැස්ම එලි දැක්වීමද සිදුකරන ලදී.
එමෙන්ම හඳුනානොගත්රියඅනතුරුවලින් මියගිය පුද්ගලයින්ගෙන් යැපෙන්නන් වෙනුවෙන් සහ බරපතල ලෙස අනතුරුවලට පත්වූවන් වෙනුවෙන් වන්දි මුදල් ප්‍රදානය කිරීමද මෙහිදී සිදුවිය.

මේ අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග, මාර්ග ආරක්ෂාව පිලිබඳව ජාතික සභාවේ සභාපති ඇන්ටන් ද මෙන්ස් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ