Spread the love

ලෝක බැංකු ණය මුදලක් යටතේ මිල දී ගන්නා ලද යුරියා පොහොර තොගයෙන් මෙට්‍රික් ටොන් 28,000ක් රැගත් නෞකාවක් මැලේසියාවේ සිට අද දින (23) පාන්දර කොළඹ වරායට සේන්දු වී තිබේ.

මෙම පොහොර ගොවීන් විසින් වැඩිපුරම ඉල්ලන කැටිති වශයෙන් ( Granule) පවතින පොහොර බව පවසන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙවර මහ කන්නය සඳහා ගොවි ජනතාවට අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනීම සදහා ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 110ක මුදලක් ශ්‍රී ලංකාවට ලබා දුන් බවත්, ඒ යටතේ යුරියා පොහොර මෙට්‍රික් ටොන් 125,000ක ප්‍රමාණයක් මෙරටට ලැබෙන බවත් අවධාරණය කළේය.

මින් පෙර මිල දී ගත් යුරියා පොහොර ප්‍රමාණයක් කැටිති වශයෙන් ( Granule) නොව Frill වශයෙන් ලැබී තිබිනි. එම පොහොරවල ප්‍රමිතිය උසස් මට්ටමක පැවතියත් ගොවීහු එම පොහොර කැටීති වශයෙන් නොපැවතීම සම්බන්ධව නොකැමැත්තක් දක්වනු ලැබීය. ඇතැම් දිස්ත්‍රික්කවලට බෙදා දී තිබු එම පොහොර තොග නැවතත් කැඳවීමට පියවර ගත් බවත්, ඒ වෙනුවට මෙම පොහොර තොගය අද දින සිටම බෙදාහැරීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා රජයට අයත් පොහොර සමාගම්වලට උපදෙස් දී දුන්නේය.