Spread the love

කෘමිනාශක හා රසායනික පොහොර භාවිතය අවම කර ගනිමින් සියයට 80ක්ම කාබනික වගාව ස්වාභාවික පළිබෝධ නාශක පිළිවෙත් අනුගමනය කරමින් මිරිස් වගා කරන නිසා ජාත්‍යන්තර වෙළෙඳ පොළ තුළ ද අපේ රටේ මෙම මිරිස් වගාව සඳහා ඉහල ඉල්ලුමක් පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඇමතිවරයා මෙම අදහස් පළකලේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය අනුරාධපුර යකල්ල, කැටකාල, තඹුත්තේගම ඇතුළු ප්‍රදේශ කිහිපයක වගා කර ඇති මිරිස් වගාබිම් ඊයේ (10) නිරීක්ෂණයට ලක් කළ අවස්ථාවේදීය .
මෙහිදී අප රටේ පවතින මිරිස් අවශ්‍යතාවයෙන් සියයට 20ක් සැපයීම‍ට තමන් සූදානම් බව අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිරිස් වගා කර ඇති ගොවීහු පැවසුහ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මෙම ‍මිරිස් ගොවීන් සදහා අවශ්‍ය සියලු පහසුකම් සපයා තිබේ. ඒ අනුව මිරිස් වගාව සඳහා අවශ්‍ය තාක්ෂණය, උපකරණ, නවීන වගා ක්‍රම, නව පළිබෝධ නාශක පිළිවෙත් මෙන්ම ඒවා ඇසිරීම සඳහා අවශ්‍ය නව ක්‍රමෝපායයන් මෙන්ම අලෙවිය සඳහා අවශ්‍ය වෙළෙඳ පොළ ද සපයා දී තිබේ.
මේ නිසා එක් ගොවියෙක් අක්කරයකින් රුපියල් ලක්ෂ 74ක් වැනි ඉහළ ආදායමක් මාස හයක් තුළ උපයන බව මෙහිදී එම ගොවීහු අවධාරණය කළහ.අපේ රටේ ඉතාමත් සාර්ථකව මිරිස් වගා කිරීමට හැකියාව පැවතුනද අපේ රටේ මිරිස් අවශ්‍යතාවයෙන් සියයට 60කට වඩා තවමත් ආනයනය නරනු ලබයි.

අනුරාධපුර මිරිස් වගා කරන ගොවි ජනතාව හමුවූ අමාත්‍යවරයා ,වී හා බඩඉරිගු වගාවන්ට මෙන්ම මිරිස් වගාවට ද ප්‍රමුඛත්වය ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එමනිසා ඉදිරි වර්ෂ දෙක තුළ අපිට අවශ්‍ය මිරිස්වලින් සියයට 80ක්වත් අපේ රට තුළ නිපදවා ගැනීමට අප ඉළක්ක කර තිබෙනවා. මම අනුරාධපුරයට පැමිණීමට පෙර අපේ රටට ආනයනය කර තිබෙන මිරිස් පිළිබඳ තොරතුරු ලබා ගත්තා.
2022 වසරේ ජූලි මාසය වන විට පමණක් අපි පිටරටින් මිරිස් මෙට්‍රික් ටොන් 18,556ක් ආනයනය කර තිබෙනවා. ඒ සඳහා වැය කර තිබෙන අපේ විදේශ විනිමය වටිනාකම රුපියල් මිලියන 28,612ක්. ඒ කියන්නේ රුපියල් කෝටි 2800කටත් වැඩියි. අපිට මෙම මුදල අපේ ගොවීන් සඳහා වැය කළා නම් අපේ රටට අවශ්‍ය මිරිස් ප්‍රමාණය අපිටම නිපදවා ගැනීමට හැකිවෙනවා පමණක් නොව පිටරටටත් යැවීමටත්, එමගින් ඩොලර්වලින් ආදායම් උපයා ගැනීමටත් හැකි වෙනවා.

අපිට අවශ්‍ය සියලු කෘෂි බෝග අපේ රට තුළම නිපදවා ගැනීමේ වැඩ පිළිවෙළට ජනාධිපති රනිල් වික්‍රමසිංහමහතාගේ පූර්ණ අනුමැතිය ලැබී තිබෙනවා. ඒ නිසා මෙවැනි කෘෂි භෝග අපේ රට තුළ වගා කිරීම පුළුල් කිරීම මගින් අත මිට සරු ගොවි පරපුරක් බිහිකළ හැකි බව මෙම ව්‍යාපෘතිවලින් පෙනී යනවා.
මෙතන සිටින එක් ගොවි මහතෙක් අක්කරයක මිරිස් වගා කර රුපියල් මිලියන 7.4ක ආදායමක් මාස හයක් තුළ ඉපයූ බව සදහන් කළා.අපේ රටට ආනයනය කරන මිරිස්වලට ලෝකයේ ඉහළම විෂ රසායනික ද්‍රව්‍ය යොදවා වගා කරන ඒවා බව තහවුරු වී තිබෙනවා. විශේෂයෙන් අපේ රටේ පවා තහනම් කරන ලද උග්‍ර විෂකාරක ඒ රටවල්වල මිරිස් වගාවට යොදනවා. නමුත් අපේ වගා කරන මිරිස් ඉහළම ගුණාත්මකභාවයෙන් යුක්ත බව කිව යුතුයි.

අපේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ අපි ඉදිරි කාලය තුළත් තවත් මිරිස් වගා ව්‍යාපෘති රැසක් ආරම්භ කරනවා යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් විජේකෝන් මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.