Spread the love

විදේශ වෛද්‍යවරුන්ට මෙරට සේවය කළ හැකි වන පරිදි ඉදිරියේදී නීති සම්පාදනය කරන බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කරයි.

වෛද්‍යවරුන් විදේශගත වීම මත රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවත්වාගෙන යාම සඳහා ඇති වී තිබෙන හිගය සම්බන්ධයෙන් සතිඅන්ත පුවත්පතක් වෙත ඔහු මෙම අදහස් පළ කර තිබේ.

“රටට දීර්ඝකාලීන වශයෙන් අවශ්‍ය වෛද්‍යවරුන් බිහි කරන්න රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරන්න ඕනෑ. ඒ වගේම තමයි ලංකාවේ වෛද්‍යවරුන් විදේශගත වෙලා. ඒ ඒ රටවල්වල පුරවැසිභාවය ලබාගෙන ඒ රටවල්වල ජීවත් වෙන්න පුළුවන්. හැබැයි අපේ ලංකාවට කිසිදු විදේශීය වෛද්‍යවරයකුට වෛද්‍ය සේවා සපයන්න බැහැ නිසි අවසරයක් ලබා නොගෙන. අපේ රටට ඇවිල්ල සේවය කරන්න, මේ රටේ පදිංචි වෙන්න වෛද්‍යවරුන් වගේම වෘත්තීයවේදීන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. අපිට ඇතැම් කාලවලදී ගෝලීය තත්ත්වයට මුහුණ දෙමින් පිටරටින් වෛද්‍යවරුන් ගෙන්න ගන්න පුළුවන් වෙයි. නමුත් ඒ සඳහා නිශ්චිත ක්‍රමවේදයක් නැහැ.

ආණ්ඩුව විසින් මේ සඳහා නිශ්චිත ක්‍රමවේද සකස් කරනු ලැබුවට පසු විදේශගතව සිටින අපේ වෛද්‍යවරුන් වගේම විදේශීය වෛද්‍යවරුන් ලංකාව තුළ පදිංචි වීමට එන්න පටන් ගන්නවා.

ඉතාම පැහැදිලිව මේ රටේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කරන්න, නියාමනය කරන්න ඒ සඳහා සුදුසුකම් තියෙන අයට අවස්ථාව ලබාදෙන්න ඉතාම පැහැදිලිව ආණ්ඩුව මේ වන විට තීන්දු කරලා තිබෙනවා. ඉදිරියේදී මේ රටේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල කිහිපයකුත් ඇති වීමට නියමිතයි”