Spread the love

රාජ්‍ය නත්තල් උත්සවය කෑගල්ල ශාන්ත මරියා විදුහල් ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී අති උත්කර්ෂවත් අයුරින් ඊයේ (20) පැවැත්විණි.

ලෝකවාසී සියලුම කිතුනුවන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය සිහි කරමින් මහත් භක්තියෙන් යුතුව සමරනු ලබන නත්තල වෙනුවෙන් මෙම රාජ්‍ය උත්සවය ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව හා බුද්ධශාසන,ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලදී.

රත්නපුර පදවි රදගුරු අතිඋතුම් දේවධර්මාචාර්ය ක්ලීටස් චන්ද්‍රසිරි පෙරේරා හිමිපාණන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් ද ගරු අග්‍රාමාත්‍ය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මාර්ගෝපදේශකත්වයෙන්,අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතගේ සහ ක්‍රිස්තියානු කටයුතු අධ්‍යක්ෂ චතුරි පින්තු මහත්මියගේ උපදේශකත්වයෙන් රාජ්‍ය උත්සවයේ කටයුතු සිදු කෙරිණි.

“සාරධර්මවලින් සපිරුණු ජන සමාජයක් ගොඩනැංවීමේ අරමුණ ඉටු කර ගැනීමට අපි සියලු දෙනා කැප විය යුතු බවත්, සැමට ප්‍රීතිමත් සුබ නත්තලක් වේවායි ප්‍රාර්ථනා කරමින්“ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අරලියගහ මන්දිරයේ සිට අන්තර්ජාලය ඔස්සේ සිය නත්තල් සුබ පැතුම් එක් කළේය.

මහා සංඝරත්නය,සර්ව ආගමික ප්‍රසාදීන්වහන්සේලා,උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණිය,අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍යවරු වන විදුර වික්‍රමනායක, තාරක බාලසූරිය, කනක හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක, සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය, කෑගල්ල නගරාධිපති ජී.කේ. සමරසිංහ යන මහත්ම මහත්මීහු සහ රාජ්‍ය නිලධාරිහු පිරිසක් මෙම අවසථාවට එක්වුහ

.