Spread the love

උතුරු පළාත සඳහා ක්‍රියාත්මක කෘෂිකර්ම අමාත්‍යාංශයේ දේශගුණික විපර්යාස කෘෂිකාර්මික ව්‍යාපෘතිය Climate Smart Irrigated Agriculture Project ( CSIAP) යටතේ කිළිනොච්චි ඉනොච්චි වැව හා තෙලිකරෙයි වැව් දෙක  ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු පසුගියදා ආරම්භ විය.

කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ විය. මේ සඳහා ලෝක බැංකුවේ ආධාර යටතේ ක්‍රියාත්මක දේශගුණික විපර්යාස කෘෂිකාර්මික ව්‍යාපෘතිය විසින් වැය කරන මුදල රුපියල් මිලියන 70කි.

මෙහිදී හින්දු ආගමික සම්ප්‍රදායානුකූලව වැව් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ වූ අතර එම අවස්ථාවට ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් සහභාගි වූහ.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා ලබන මහ කන්නය සඳහා අවශ්‍ය යුරියා පොහොර ලබා දීම උතුරු පළාතෙන් ආරම්භ කළ බව සඳහන් කළේය.

අපි දැනටමත් මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය යුරියා පොහොරවලින් පළමු තොගය වශයෙන් මෙට්‍රික් ටොන් 200ක් යාපනයට එවීමට කටයුතු කළා. ඉදිරියේ දී තවත් අවශ්‍ය තරම් යුරියා පොහොර ලබා දීමට පියවර ගන්නවා. උතුරේ ජනතාව අපේ රටේ ඉතා උසස් ලෙස කෘෂිකාර්මික කටයුතුවල නිරත වෙනවා. යාපනයේ නිෂ්පාදිත කෘෂිකාර්මික ද්‍රව්‍ය නිසා අපේ රටේ වෙළෙඳපොළ මිල ගණන් සමතුලිත කර ගැනීමට අවස්ථාව හිමිවී තිබෙනවා.

පසුගිය යල කන්නයේ දී යුරියා පොහොර අපිට ලැබෙන විට යාපනය, කිළිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්කවලත් , මඩකලපුවේත් අස්වනු නෙලීම ආරම්භ වී තිබුනා. ඒ නිසා එම ප්‍රදේශවල ගොවීන්ට පොහොර ලබා දීමට අවශ්‍ය වුනේ නැහැ.

එම නිසා අපි මෙම මහ කන්නයේ දී උතුරේ ගොවි ජනතාවට පළමුවෙන්ම යුරියා පොහොර නිකුත් කිරීමට පියවර ගනු ලැබුවා යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.