Spread the love


රුපියල් පහලොස් ලක්ෂ හැත්තෑපන්දහසක් (1,575,000/-) පමණ වටිනා වල්ලපට්ටා (Gyrinops walla) තොගයක් ගමන්මලු තුල සඟවාගෙන නීති විරෝධීව ඩුබායි වෙත රැගෙනයාමට තැත්කල ශ්‍රී ලාංකිකයකු ගුවන් තොටුපල රේගු නිලධාරීන් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් වල්ලා පට්ටා (Gyrinops walla) තොගයේ වල්ලාපට්ටා ශාක කොටස් කිලෝග්‍රෑම් 4.5 ක් සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මෙම වල්ලපට්ටා කැබලි මගියා සතු ගමන්මලු තුල පළතුරු සහ එලවලු අතර සැක නොසිතෙන ආකාරයෙන් සූක්ෂමව සඟවා තිබී ඇති අතර ඔහුගේ සැකකටයුතු ගමන්වාරය පිලිබඳ සෑහීමකට පත්නොවූ රේගු නිලධාරීන් සිදුකල වැඩිදුර පරීක්ෂාවෙදී මෙම වල්ලාපට්ටා තොගය සොයා ගැනීමට සමත්වී ඇත.


වල්ලපට්ටා ශාකය ශ්‍රී ලංකාවට ආවේනික ශාකයක් වන අතර එහි ස්වාභාවික ක්‍රියාවලියක් මගින් ආසාත්මිකතාවයකට එරෙහිව නිපදවන රෙසින අඩංගු ශාක කොටස් මිල අධික සුවඳවිලවුන් නිෂ්පාදනය කිරීම සඳහා අමුද්‍රව්‍යයක් ලෙස යොදාගනී. කෙසේ වෙතත් වන සංරක්ෂණ පනතේ විධිවිධානයන්ට අනුව වන සංරක්ෂක ජෙනරාල්ගේ ලිඛිත අවසරයකින් තොරව මෙම ශාක වලට හානි කිරීම, ප්‍රවාහනය, විකිණීම සහ අපනයනයට තැත් කිරීම නීති විරෝධී වේ.

තවද තර්ජනයට ලක්වූ වන සතුන්ගේ සහ ශාක විශේෂ වල ජාත්‍යන්තර වෙලඳාම පිලිබඳ වූ සම්මුතිය (CITES) මගින්ද වල්ල පට්ටා ශාකයේ ජාත්‍යන්තර වෙලඳාම සීමා කර තිබේ. ඒ සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ බලය වන ජීවී අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට පවරා ඇත.
රේගු ජෛව විවිධත්ව සංස්කෘතික හා ජාතික උරුමයන් ආරක්ෂා කිරීමේ අංශය විසින් තක්සේරු කර තිබෙන අතර මේ සම්බන්ධයෙන් සිදු කල රේගු විමර්ශනය අවසානයේ මෙම භාණ්ඩ රාජසන්තක කිරීමට කටයුතු කරඇත.
ගුවන් තොටුපල රේගු නිලධාරීන් වන T.E. හේවාතැන්න, A. අශ්‍රොෆ්, S.M.ඇන්තනි සහ S.A. ඉරේෂා යන මහත්වරු මෙම වැටලීම සිදු කළහ.