Spread the love


රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ජනිතා අබේවික්‍රම ලියනගේ ව ඊයේ (03) දිනයේ දී රුසියානු විදේශ අමාත්‍යංශය වෙත කැඳවා ඇති බව වාර්තා වෙයි.්‍

ඇයව මෙලෙස කැඳවා තිබුණේ රුසියානු ප්‍රධානතම ගුවන් සමාගම වන ඒරෝෆ්ලොට් අයත් ගුවන් යානයක් පසුගිය 02 වනදා කටුනායක ගුවන් තොටුපොළ දී වාරණ නියෝගයක් නිකුත් කරමින් පිටත්ව යාම වැළැක්වීම සම්බන්ධව විමසීම සඳහායි.

එහිදී රුසියානු බලධාරීන් විසින් එම සිදුවීමට ශ්‍රී ලංකාව වෙත දැඩි විරෝධයක් පළ කර ඇති බවයි වාර්තා වන්නේ. විදේශ කටයුතු අමාත්‍යංශය මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා තිබුණේ ජූනි 2 වැනිදා මොස්කව් බලා යාමට නියමිතව තිබූ ඒරෝෆ්ලොට් ගුවන් යානයක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකාවේ අධිකරණ බලධාරීන්ගේ පදනම් විරහිත තීරණය සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල ප්‍රධානියාට විරෝධතාවක් ලැබුණු බවයි.

සාම්ප්‍රදායිකව මිත්‍රශීලී ද්විපාර්ශ්වික සබඳතා කෙරෙහි ඇති වන අහිතකර බලපෑම වළක්වා ගැනීම සඳහා මෙම ගැටලුව කෙටි කාලයක් තුළ විසඳා ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් විදේශ කටයුතු අමාත්‍යංශය අදාළ පාර්ශවයන්ගෙන් ඉල්ලා තිබෙනවා.