Spread the love


ලෝක ළමා දිනයදා සත්වෝද්‍යාන වලින් රුපියල් පනස් ලක්ෂයකට වැඩි ආදායමක් …
ලෝක ළමා දිනයේදී දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු සත්වෝද්‍යාන වලින් රුපියල් 50,80377 ක වාර්තා ගත ආදායමක් ලබා ඇතැයි කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
දෙහිවල ජාතික සත්වෝද්‍යානය මෙම වසරේ එක් දිනයක් තුළ දී වාර්තා කළ වැඩිම ආදායම ඔක්තෝබර් 01 දා බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ඊයේ (04) කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යවරයාට දැනුම් දි තිබේ.

මීට සමගාමීව අනෙකුත් සියලුම සත්ව උද්‍යානවලින් ද මෙතෙක් එක් දිනයක දී ලද වැඩිම ආදායම ලෝක ළමා දිනයේ දී ලබා ගැනීමට හැකි වී තිබේ.
ඒ අනුව පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානය ලබා ඇති ආදායම රුපියල් 9,47,000කි. පින්නවල සත්වෝද්‍යානය රුපියල් 9,49,200ක් ද, රිදියගම සෆාරි උද්‍යානය විසින් රුපියල් 8,56,000ක මුදලක් ද උපයා ගෙන තිබිනි.

ලෝක ළමා දිනය නිමිත්තෙන් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් දරුවන්ට හා අවුරුදු 60ට වැඩිහිටියන්ට නොමිලයේ සත්වෝද්‍යානවලට ඇතුල්වීමට අවසර ලබා දී තිබිය දීත් මෙවැනි ඉහළ ආදායමක් ඉපැයීමට හැකි වූ පළමු අවස්ථාව බව ද ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා පැවසීය.

ඉදිරි ලෝක හා ජාතික දිනයන්හිදීත් ජනතා ආකර්ශණය සත්වෝද්‍යාන වෙත ලබා ගැනීමේ නිර්මාණාත්මක වැඩ සටහන් සකස් කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.