Spread the love


වන අලින් පළවා හැරීමට සමත් හඳුන්කූරක් නිපදවීම සම්බන්ධව කළ අත්හදා බැලීම සාර්ථක ප්‍රතිපල ලබා දී තිබේ. නිවෙස් තුළ දල්වන මෙම විශේෂ හඳුන්කූරෙන් නිකුත්වන සුවඳ ආඝ්‍රාණය කරන වන අලින් නිවාසවලින් බැහැරව ගමන් කරන අතර නිවාසවලට පහර දීමට නොපෙළඹෙන බව තහවුරු කර ගෙන ඇතයිද පරිසර ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.


මෙම හඳුන්කූර දැල්වෙන්නේ පැය එකහමාරක කාලයක් පමණ වන හෙයින් එහි කාලය දීර්ඝ කර ගැනීම සඳහා තවදුරටත් අත්හදා බැලීම් සිදු කිරීමට නියමිතයි.. කෙසේ වුවද නිවාසවලට වන අලින් පහරදීම වළක්වාගැනීම සඳහා මෙම විශේෂ හඳුන්කූර උපකාරි කරගත හැකි වන බව දැනට තහවුරු කරගෙන ඇති බව ද හෙලිවී තිබේ.


වනසතුන්ගෙන් සිදුවන වගා හානි මෙන්ම වන අලින් විසින් නිවාසවලට පහර දී විනාශ කිරීම සම්බන්ධව වනජීවි හා වනසම්පත් අමාත්‍යාංශ ගෙන ඇති ක්‍රියාමාර්ග හා ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩ සටහන් සම්බන්ධව පසුගියදා පැවැති දේශගුණ විපර්යාසයන්ට ඔරොත්තු දෙන තිරසර ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ දී පුළුල් ලෙස සාකච්ඡා කරනු ලැබීය.


එම කමිටුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කාර්ය සාධක බලකායේ රාජ්‍ය අමාත්‍ය අනු කමිටුවේ පළමු රැස්වීම පසුගියදා පරිසර අමාත්‍යාංශයේ දී පැවැත්විනි.
ඒ සඳහා රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සහ පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා හා වනජීවි, වනසම්පත් හා පරිසර අමාත්‍යාංශයේ නිලධාරින් ද සහභාගි වූහ.


එහිදී වනජීවින් විසින් ආහාර භෝග සම්බන්ධව සිදු කරන විනාශය සම්බන්ධව සාකච්ඡා කළේය. මේ වනවිට ගොවීන් විසින් වගාකරන ආහාර භොගවලින් වාර්ෂික සියයට 40කට ආසන්න ප්‍රමාණයක් වනසතුන් විසින් විනාශ කරනු ලබයි. එහිදී වැඩිම හානියක් සිදු කරන සතුන් වන්නේ වන අලින් මෙන්ම මොණරු, රිළව්, වඳුරන්, වල්ඌරන්, ඉත්තෑවුන්ද ප්‍රධාන වේ. වනසතුන් විසින් සිදු කරන භෝග හානිය මේ වනවිට කොළඹ වැනි ජනාකීර්ණ ප්‍රදේශ දක්වාම ව්‍යාප්ත වෙමින් පවතී.


එමෙන්ම මෙහිදී වනඅලින් විසින් නිවාසවලට පහරදීම සිදු කිරීම සම්බන්ධව ද සාකච්ඡා කළේය. ඒ අනුව දැනට හඳුනාගෙන ඇති කරුණු අනුව නිවාසවලට පහර දෙන වන අලින්ගෙන් බහුතරයක් රැළෙන් පළවා හරින ලද තනි අලින් බව තහවුරු කර ගෙන ඇත. නිවාස තුළ ඇති හාල් හා වීවලින් හමන සුවඳ නිසා ඒවා කෑමට ඔවුන් නිවාස කඩා බිඳ දමනු ලබයි.මෙම තත්ත්වය වළක්වා ලීම සඳහා විකල්ප ක්‍රියාමාර්ග කිහිපයක් හඳුන්වා දීමට නියමිතය.

මේ හැර වන අලින්ගෙන් සිදුවන නිවාස හානිය වැළැක්වීම මෙන්ම අලි මිනිස් ගැටුම නැවැත්වීමට තවත් විකල්ප ගණනාවක් දැනට අත්හදා බලමින් සිටින බව ද නිලධාරිහු ප්‍රකාශ කළහ.