Spread the love

වවුනියාවේ සෙට්ටිකුලම ප්‍රදේශයේ බෞද්ධයින් හෝ බුදුන්ට වන්දනාමාන කරන පිරිසක් නොමැතිව තිබියදී කිසියම් පිරිසක් විසින් එම ප්‍රදේශයේ බුදු පිළිමයක් තබා ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නෝහා රාධලිංගම් අද 10 පැවසීය.
මින් කිසියම් පිරිසක් වවුනියාවේ සාමකාමී ජනතාව අතර ආරවුලක් නිර්මානය කිරීමට උත්සහ කරන බව කී මන්ත්‍රීවරයා වහාම එම බුදු පිළිමය ඉවත් කිරීමට බලධාරීන් පියවර ගත යුතුව ඇතැයි කියා සිටියේය.

මේ බුදු පිළිමය තැබීම සම්බන්ධයෙන් සෙට්ටිකුලම ප්‍රදේශයේ ජනතාව අතර දැඩි නොසන්සුන් තත්ත්වයක් හාට ගෙන ඇති බවත් එය ඉවත් කිරීමට දෙමළ ජනතාව බියක් දක්වන නිසා වවුනියාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා එක්ව බුදු පිළිමය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙස ඉල්ලා සිටි මන්ත්‍රීවරයා මේ ක්‍රියාව සම්බන්ධයෙන් විරෝධතාවය දක්වන්නේ තම පක්ෂය පමණක් නොව වවුනියාවේ සියලුම දෙමළ වැසියන් බවද කියා සිටියේය.

සෙට්ටිකුලම -මන්නාරම මාර්ගයේ සෙට්ටිකුලම ග්‍රාම නිලධාරී කොට්ඨාසය යටතේ ඇති පැරණි දුම්රිය ස්ථානය අසල මෙම බුදු පිළිමය තබා ඇති අතර ඒ අසලම සෙට්ටිකුලම මුරුගන් කෝවිලද පිහිටා ඇති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා පළාත් තුළ විරෝධතාවයක් හට ගැනීමට පෙර මෙතෙක් එම ස්ථානයේ නොතිබූ බුදු පිළිමය ඉවත් කිරීම සාමයෙන් ජීවත් වන වවුනියාවේ පොදු ජනතාව අතර ඉතා හොදින් පවතින සහසම්බන්ධයට හේතුවන බවද පැවසීය.