Spread the love


අප රටේ වායු දූෂණය අවම කරලීම සඳහා ගනු ලබන පියවරක් වශයෙන් ඉදිරියේදී වාහන ආනයනය කිරීමේදී විදුලි බලයෙන් ක්‍රියාත්මක වන මෝටර් රථ ආනයනය සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට රජය තීරණය කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
පරිසර අමාත්‍යවරයා සභාපතිත්වය දරන දේශගුණික විපර්යාස සදහා විසඳුම් ලබා දෙන හරිත ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකායේ රාජ්‍ය අමාත්‍ය අනුකමිටුව අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ජනාධිපතිතුමන් ගේ උපදෙස් පරිදි ඒ සඳහා වන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය ලැබි ඇතැයි සඳහන් කළ අමාත්‍යවරයා මගී ප්‍රවාහණය සඳහා විදුලිබලයෙන් ක්‍රියාකරන පහත් පතුල් සහිත බස් රථ Electric Low Floor Busses යොදා ගැනීම කෙරෙහි රජය අවධානය යොමු කර ඇතැයි ද සඳහන් කළේය.
එමෙන්ම දැනට විදුලිබලයෙන් ක්‍රියාකරන වාහනයක් විද්යුත් ආරෝපණයෙන් පසු ගමන් කළ හැකි උපරිම දුර කිලෝමීටර් 300-350ක් පමණ වන නිසා දැනට ලොව කිලෝ මීටර් 550ක් පමණ ධාවනය කළ හැකි මෝටර් රථ ආනයනය කිරීමටත්, එමෙන්ම විදුලි ආරෝපණ මධ්‍යස්ථාන සංඛ්‍යාව වැඩි කිරීමටත් අවධානය යොමු කර ඇති බව ද පැවසීය.
දැනට පුද්ගලික අංශය මගින් විවිධ ස්ථානවල විදුලි ආරෝපණ මධ්‍යස්ථාන Charging Centers 400ක් පමණ තිබෙන අතර එම සංඛ්‍යාව තවත් 350කින්වත් ඉහළ නැංවීමේ අවශ්‍යතාවය ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම මේවනවිට පරිසර අමාත්‍යාංශය විසින් මොරටුව විශ්ව විද්‍යාලය සමග විද්යුත් ප්‍රවාහණ ක්‍රියාකාරි සැළැස්මක් E- Mobility Framework සකස් කරමින් සිටින බවත් එම ක්‍රියාකාරි සැලැස්ම අනුව ඉදිරි කාලය තුළ අප රටේ ප්‍රවාහන කටයුතුවල දී හැකිතරම් පොසිල ඉන්ධන භාවිතය අවම කරමින් වායු ගෝලීය දූෂණයට හේතුවන කාබන් ප්‍රතිශතය පහළ දැමීම සඳහා පියවර රැසක් ගන්නා බව ද සඳහන් කළේය.
මේ සම්බන්ධව වැඩිදුරටත් මෙම මාසය තුළ ඊට අදාල රාජ්‍ය අමාත්‍ය අනුකමිටුව සමග සාකච්ඡා කිරීමට නියමිතය.