Spread the love

ඉදිරියේදී විදේශිකයෙකු හා විවාහවීමට අපේක්ෂා කරන ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකු ඒ සඳහා නිෂ්කාශන වාර්තාවක් ආරක්ෂක අමත්‍යාංශයෙන් ලබා ගතයුතු බව රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ පිළිබඳව සියලුම දිස්ත්‍රික් රෙජිස්ටාර්වරුන් දැනුවත් කර තිබේ.එය ජනවාරී පළවෙනිදා සිට ක්‍රියාත්මකයි.මීට පෙර ඒ සඳහා අවශ්‍ය වුයේ වලංගු විදේශීය ගමන් බලපත්‍රය, දික්කසාද සහ වැන්දඹු බවට සනාථ කිරීමේ ලේඛන, සිවිල් තත්ත්වය සනාථ කිරීමේ සහතික සහ උප්පැන්න සහතිකය පමණක් බව එම දෙපාර්තමේන්තුව පවසයි.

එවැනි විවාහයකදී ජාතික ආරක්ෂාවට ඇතිවන බලපෑම සහ උද්ගතවිය හැකි සමාජීයීය ගැටලු පාදක කර ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.ඒ අනුව විදේශීය පාර්ශවය විසින් මාස හයක් ඇතුළත තම රටේ ආරක්ෂක අමාත්‍යාංශය මගින් ලබා ගත් කිසියම් වරදකට වැරැදිකරු නොවන බවට වන සහතිකයේ මුල්පිටපත තම දේශීය පාර්ශවකරු හෝ නියෝජිතයෙකු මගින් රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුවට යොමු කළ යුතුය.

මීට අමතරව අදාළ විදේශිකයා කොරෝනා එන්නත් ලබාගෙන තිබේද යන්න ඇතුළත් ඔහුගේ හෝ ඇයගේ සෞඛ්‍ය තත්ත්වය තහවුරුකර ගැනීම සඳහා වන ස්වයං ප්‍රකාශයක්ද ඉදිරිපත් කළ යුතු බව රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව පවසයි.